දරුවන් සේවයේ යෙදවීමේ දඩය ලක්ෂය දක්වා ඉහළට – වසරක සිරදඬුවමකුත් දෙන නිතීය පාර්ලිමේන්තුවට

ළමා ශ්‍රමිකයන් සේවයේ යෙදවීමේ වරදට වැරදිකරුවන් වන පුද්ගලයන්ට පනවනු ලබන උපරිම දඩ මුදල වත්මන් රුපියල් 10,000 සිට රුපියල් 100,000 (ලක්ෂය) දක්වා ඉහළ දැමීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

කාන්තාවන්, තරුණ පිරිස් සහ ළමයින් සේවයේ යෙදවීමේ පනතට සංශෝධන එක් කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

මේ සඳහා වන අදාළ පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයේ ද ප්‍රසිද්ධ කර තිබේ.

යෝජිත නව සංශෝධනවලට අනුව, පොදු හෝ පෞද්ගලික කාර්මික ආයතනයක ළමයෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් උසාවියක් මඟින් වැරදිකරු කරනු ලබන ඕනෑම පුද්ගලයෙකුට රුපියල් 100,000 දක්වා වූ දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

වර්තමානයේ එවැනි වරදක් සඳහා පවතින උපරිම දඩය රුපියල් 10,000 කි.

මෙම කෙටුම්පත් පනත මඟින් තවදුරටත් ප්‍රතිපාදන සලසා ඇත්තේ, වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වැරදිකරු වන ඕනෑම අයෙකුට රුපියල් 100,000ක් දක්වා දඩයක්, මාස 12 නොඉක්මවන සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමටය.

අදාළ පනත් කෙටුම්පතට අනුව, සුදුසු අවස්ථාවලදී වැරදිකරුවන්ට දඩය සහ සිරදඬුවම යන දෙකම එකවර පැනවීමේ බලය ද අධිකරණයට හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *