ජනාධිපති අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයෑම සඳහා විදෙස් රටවල උදව් ලබාගැනීම සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස ඊට සහයෝගය ලබාදෙන අතර ජනාධිපති චීනයට යෑම ගැන සතුටට පත්වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,
“ජනාධිපති අනුර දිසානායක මහතා චීන සංචාරයක යෙදිලා තිබෙනවා. ජනාධිපති විපක්ෂයේ සිටින කාලයේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීන් චීනය ලංකාවේ සිදුකළ ව්‍යාපෘති සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළා. නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති වුණාට පස්සේ චීන සංචාරයේදී චිනය පිළිබඳව ගුණ ගායනා කරනවා. ඒ වගේම චීනය විසින් ලංකාව ණය උගුලක හිර කරලා තිබෙනවා කියලා අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ සිටි කාලයේ ප්‍රකාශ කරලා තිබුණා. චීනය විසින් ලංකාව ණය උගුලක හිර කරලා තිබෙනවා නම් ඒ ණය උගුලෙන් ලංකාව බේරගන්න චීන රජය සමඟ අනුර දිසානායක ජනාධිපතිවරයා කතා කළාද කියා අපි අහන්න කැමැතියි.
සිනොපෙක් ආයෝජනය අනුර දිසානායක ජනාධිපතිවරයා පත්වුණාට පස්සේ සිදුවුණ ආයෝජනයක් නෙවෙයි. අපි නම් සතුටුයි එවැනි ආයෝජනයක් ලංකාව තුළ ක්‍රියාත්මක වීම පිළිබඳව. නමුත් සිනොපෙක් ආයෝජනය ලංකාවේ සිදුවුණේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළදී. ඒ ආයෝජනය අනුර දිසානායක මහතා යටතේ නෙවෙයි සිද්ධ වුණේ.
අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේ කියපු දේවල් අමතක වෙලා හෝ රංගනයක් ඉදිරිපත් කරමින් චීනය සහ ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව සමගි ජන බලවේගය සතුටු වෙනවා.
ඒ වගේම සමගි ජන බලවේගය විශ්වාස කරන නොබැදි පිළිවෙත අනුර දිසානායක මහතා අනුගමනය කිරිම පිළිබඳව සතුටු වෙනවා.
ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතාට දැන් තිබෙන්නේ ලංකාව සංවර්ධනය කරා ගෙන යන්න විදෙස් රටවල උදව් ලබාගන්න. ඒ සඳහා විපක්ෂයක් ලෙස අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල පිළිබඳව අපි සතුටු වෙනවා.