රජයේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළ විය. “රනිල්ට හොරකම් කරන්න ඕන නෑ,” “ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ ජනාධිපති ලෙස කිසිදු වැටුපක් ලබා ගත්තේ නැහැ,”වැනි ප්‍රකාශ ඒ අතර විය. මේවා රටේ බුද්ධිමත් ජනතාව නොමග යැවීමට සහ අවභාවිත කළ මුදල සාධාරණීකරණය කිරීමට කළ ප්‍රකාශ බව අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ලබාගත් නිල තොරතුරු පහත දැක්වේ.
පාර්ලිමේන්තුවෙන් ලබාගත් තොරතුරු වලට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා 5, 6, 7, 8, සහ 9 වන පාර්ලිමේන්තු වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප් සහ දීමනා ලබාගෙන ඇති බව තහවුරු වී තිබේ.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවද පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුව තහවුරු කරයි.
වර්තමානයේ ඔහු ජනාධිපති ධුරය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නොදරන නමුත්, විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප සහ දීමනා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපද ලබා ගනිමින් සිටියි. නිල නිවස පමණක් ලබාගෙන නොමැත. එනම් ඔහු මේ වන විට විශ්‍රාම වැටුප් දෙකක්ම ලබා ගනිමින් සිටියි.
