මදු සමය ගත කරමින් සිටි සැකකරු පොලිසිය අල්ලලා – මානුෂීය හේතුන් මත උසාවියෙන් මධු සමයට අවසර

අවස්ථා කිහිපයකදී අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයකු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු නීතිඥ මහතෙකුගේ නැවත මානුෂීය කරුණු දැක්වීමෙන් අනතුරුව රුපියල් දස දහසක ශරීර ඇපයක් මත මුදාහැර ඇති පුවතක් පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකි.

සැකකරු අවස්ථා කිහිපයකදී අධිකරණය මගහරිමින් සිට ඇති බැවින් ඔහු වෙනුවෙන් ඇප වූ පුද්ගලයා නීතිඥවරියක මාර්ගයෙන් පසුගිය 24දා මෝසමක් මගින් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා නියෝග කළේ විත්තිකරු ලබන 30දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ය.

ඉන්පසු විත්තිකරු වෙනුවෙන් ඇපවී සිටි තැනැත්තා නීතිඥ අරුණ දීපාල් මහතා මුණගැසී තම මිතුරා දින දෙකකට පෙර විවාහ වූ බවත් මධුසමය ගතකරමින් සිටියදී තමාගේ බලකිරීම මත මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ බවත් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ ද මනාලිය මේ වනවිට වාද්දුව හෝටල් කාමරයක් තුළ තනිව ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බවත් දැනුම් දී තිබේ.

ඒ අනුව නීතිඥ මහතා විසින් විනාඩි කිහිපයක් තුළදී විත්තිකරුගේ විවාහ සහතිකය, මංගල ඡායාරූප සහ ‘තැන්ක් යූ කාඩ්’ ගෙන්වාගෙන නැවත අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව නීතිඥ අරුණ දීපාල් මහතා සඳහන් කර ඇත්තේ පුද්ගලයෙකුට මධුසමය ගතකරන දින කිහිපය සිය ජීවිතයේ වටිනාම දින කිහිපයක් බවත් විත්තිකරුට සහ ඔහුගේ මනාලිය යන දෙදෙනාට එම වටිනා දින කිහිපය මගහැරී යනවා මෙන්ම ඔවුන්ගේ පවුල් ජීවිත ද දෙදරා යාමට මෙය ඉවහල් විය හැකි බව ත් ය.

එබැවින් සිය සේවාදායකයා පිළිබඳ නැවත වරක් මානුෂීය ලෙස සලකා බලා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසය. එකී කරුණු පිළිබඳ අවධානය යොමුකළ පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා විසින් විත්තිකරු රුපියල් දස දහසක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *