ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මාලිගාවත්ත ප්‍රදේශයේ දේපළ, රජයේ නිසි තක්සේරුවට වඩා ඉතා අඩු මුදලකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන යනු ලබන ‘කාල්ටන්’ පෙර පාසලට ලබා දීමෙන් රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී ඇත.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් රුපියල් ලක්ෂ 45ක් වටිනා නිෙවසක් සඳහා රුපියලක්වත් ගෙවා නොමැති බවත්, ඊට අදාළ ලිපිගොනු ද අතුරුදන් වී ඇති බවත් එහිදී වැඩිදුරටත් අනාවරණය විය.
මාලිගාවත්ත නිවාස ක්රමයේ පිහිටි ඉඩම් කොටසක් 2023 මැයි මස සිට 2028 අප්‍රේල් දක්වා වසර පහක කාලයක් සඳහා ‘කාල්ටන්’ පෙර පාසල වෙත බදු දී ඇත. රජයේ තක්සේරුව අනුව එහි මාසික කුලිය රුපියල් 177,000ක් විය යුතු වුවද, අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය මත එය මසකට රුපියල් 30,000ක් වැනි අඩු මුදලකට ලබා දී තිබේ. මෙය සුභසාධන ආයතනයක් ලෙස සලකා සහනයක් ලබා දුන් බව නිලධාරීන් පැවසුවද, ඒ පිළිබඳ කිසිදු විගණනය කරන ලද වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව කමිටුවේදී විවේචනයට ලක් විය.
මෙම පෙර පාසල මඟින් බදු ගිවිසුමට අදාළ කොටසට අමතරව තවත් ඉඩම් කොටස් දෙකක් අනවසරයෙන් භුක්ති විඳින බවත්, එහි ඇති රජයේ ගොඩනැඟිලි අවසරයකින් තොරව වෙනස් කර ඇති බවත් හෙළි විය. මෙම අක්‍රමිකතා හේතුවෙන් දැනට රජයට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 54කට අධික බව කෝප් කමිටුවේදී ප්‍රකාශ විය. 2002 වර්ෂයේදී මාතා පාරේ සිව්වන අදියරේ පිහිටි රුපියල් 4,569,215ක් වටිනා නිෙවසක් මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති නමුත්, ඒ වෙනුවෙන් රුපියලක්වත් ගෙවා ඇති බවට ලේඛනගත වී නොමැත. මේ සම්බන්ධයෙන් විමසීමේදී අනාවරණය වූයේ කොළඹ දකුණ කාර්යාලයේ තිබිය යුතු එම නිෙවසට අදාළ ප්‍රධාන ලිපිගොනුව අතුරුදන් වී ඇති බවයි. අදාළ ලිපිගොනුව නිලධාරියකු විසින් ඉවත් කර ඇති බවට සටහන් පවතින බවද මෙහිදී අනාවරණය විය.
අදාළ නිෙවස වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක් වූ නිෙවසක් බව ද කෝප් කමිටු වාර්තාවල සඳහන් වේ. මෙම සමස්ත සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා සතියක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය. රජයේ දේපළ දේශපාලන ප්රතිරූප ගොඩනැඟීමට සහ අවභාවිත කිරීමට ඉඩ දිය නොහැකි බව කමිටුව අවධාරණය කළේය.