මේ තරම් සම්බුද්ධ ශාසනයට සමාජ මාධ්‍යයෙන් පහර ගහන යුගයක් දැක නැහැ- ඇල්ලේ ගුණවංශ හිමි

ප්‍රභාකරන් පහරදෙනකොට ඒක අස්සෙත් හිටපු සමහර NGO ආයෙත් නැගිටලා

සම්බුද්ධ ශාසනයට නිගරු කරමින් හාමුදුරුවන්ගේ චරිත ඝාතනය කරන්න පටන් අරන්. ජීවිතේට පන්සලකට ආපු නැති උන් කොහොමද අපිට බණින්නේ? මේවා බලාගෙන අපිට ඉන්න පුළුවන් ද? ගරුතර මහා සංඝරත්නය නිහඬයි. නැගිටින්න. තර්ජන ගර්ජන තියෙනවා නැගිටින්න…” යැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමිපාණෝ පැවසූහ.

මේ තරම් සම්බුද්ධ ශාසනයට සමාජ මාධ්‍යයෙන් පහර ගහන යුගයක් තමා දැක නොමැති බව ද උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනරජ දින සැමරුමේදී උන්වහන්සේ මෙම සැර ප්‍රකාශය කළහ.

මෙහිදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේ ද කීහ.

“අපිට ඕන වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි දැන්. මේ රටේ අයිතිය හා උරුමය හඳුනා ගත්ත නායකයෝ. අපිටත් අද ප්‍රශ්න තියෙනවා. සියුම් ආකාරයට කිසියම් පිරිසක් සැලසුම් කරලා කතා කරලා අපේ දහමට, අපේ සංස්කෘතියට, අපේ රටට, අපේ භික්ෂුවට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ චරිත ඝාතනය කරගෙන යනවා එකා එකා පිට. සෑම දේශපාලනඥයන්ටම චෝදනා කරනවා. එක්කො හිරේ දානවා.

ඒ මිනිස්සු මේ රටට කරපු සේවය අපි දන්නවා, අපෙන් අහන්න. කැපී පෙනෙන චරිතයක් තියේ නම් ඉදිරියට එයි කියලා සුදුස්සෙක් කියලා උගතෙක් බුද්ධිමතෙක් කියලා චරිතයක් වේ නම් ඒ චරිත ඝාතනය කරනවා. ස්වාමීන් වහන්සේලාගෙත් චරිත ඝාතනය කරනවා.

“අපේ සිංහල දෙමළ අවුරුද්ද නැකැත් එහා මෙහා කරලා ඒකෙ තියෙන වටිනාකම බිඳ දානවා. ඒ වගේ සැකය සහ අවිශ්වාසය මිනිස්සුන්ගේ සිරිත් විරිත් වලටත් ඇතුළු කරනවා.

කොළඹ නගරයේ තොරණ 20 ක් 25 ක් තිබුණා. දැන් තියෙන්නේ 10 ක් 5 ක් විතරයි. ඒවා බොරු වැඩලු. තොරණ හදන එක, වෙසක් කූඩු හදන එක බොරු වැඩලු. හැබැයි දන්සල්වලට විරුද්ධව වැඩිය කතා කරන්නේ නැහැ. මොකද උන්මයි කන්නේ ඒවාට ගිහිල්ලා. මම හොඳට බැලුවා. උන්ම ගිහිල්ලා කාල බණිනවා.

හැබැයි මල් කළඹවල් උස්සගෙන යනවා ලෙනින්ගේ ප්‍රතිමාව ගාවට, කාල්මාක්ස්ගේ ප්‍රතිමාව ගාවට. ඒවා බොරු වැඩ නෙවෙයිද? මේ ජීවිතේටවත් පන්සලට නොගිය මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේලා විවේචනය කරන්න අයිතියක් තියෙනවද?

ප්‍රභාකරන් පහරදෙනකොට ඒක අස්සෙත් හිටපු රාජ්‍ය නොවන සංවිධාන දැන් ආයෙත් නැඟිටලා. අපිට කිව්වේ ජාතිවාදීන් කියලා. මට වැඩියෙන්ම ගැහුවා. දෙවි හාමුදුරුවනේ ඉස්සර අපිව හැඳින්වූවේ ජාති ප්‍රේමීන්, ජාති හිතෛෂීන්, ජාතියට වැඩකරපු අය විදිහට. අද ජාතිවාදීන්. මේවා අපිට බලන් ඉන්න පුළුවන්ද? මේවට අපිට නිහඬව ඉන්න පුළුවන්ද?

අපි දන්නවා මේ රට අවුරුදු 2500 ක් තිස්සේ ආරක්ෂා කළේ උත්තරීතර වැදගත් පක්ෂ දෙකක්. අවුරුදු 2500 ක් පැරණි පක්ෂ දෙකක්. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. අද ඒ පක්ෂ දෙක කෑලි කෑලිවලට කැඩිලා. දේශපාලන වශයෙන්, වෙනත් කුලමල වශයෙන්, උඩරට පහතරට වශයෙන් හැම අංශයකින් ම බෙදිලා. දැන් ප්‍රභූ සහ නිර්ප්‍රභූ කියලා කෑල්ලකුත් දාගෙන තියෙනවා.

බෞද්ධයා කියන වචනයේ තේරුම බුද්ධිමතා කියන එකයි. මේ රට බුද්ධිමතුන්ගේ රට. අපි නැඟිටිමු. අපි එකතු වෙමු. අපි මහා පවුරක් වෙමු. දේශපාලන පවුරක් නොවෙයි. ඒක මහා ජාතික පවුරක්. ඒක දේශප්‍රේමී පවුරක් ලෙස නැඟිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *