විධිමත් ක්රමයෙන් තොරව ලබාගෙන ඇති සිම් කාඩ්පත් භාවිත කර සිදුකරන ලද නීතිවිරෝධී ක්රියාවන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
මෙම තත්ත්වය යටතේ සිම් කාඩ්පත් සම්බන්ධයෙන් නියාමනයක් සිදු කිරීමට පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් නීති ක්රියාත්මක කරන ආයතන සිය කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බවත්, එහි අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා සඳහන් කරයි.
පසුගිය වසර කිහිපයේ දී අවිධිමත් ලෙස ලබාගෙන ඇති සිම් කාඩ්පත් භාවිතයෙන් නීතිවිරෝධී ක්රියාකාරකම් විශාල ලෙස සිදුව ඇති බැවින් සිම්කාඩ් සම්බන්ධ රෙගුලාසි යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇති බවත්, මේ වසරේ අවසානයේ සිට අලුතින් සිම් කාඩ්පත් ලබාගන්නා පුද්ගලයන්ට සජීවී ඡායාරූපයක් සමග එම කාඩ්පත ලබාගැනීමට සිදුවනු ඇති බවත් හෙතෙම පවසයි.
මෙය ආරම්භයත් සමග 2027 වසරේදී සියලුම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් හඳුනා ගැනීම සියයට සියයක් සාර්ථක වනු ඇතැයි ද කියා සිටින අධ්යක්ෂ ජනරාල්වරයා මින් මෙරට ජනතාවට හෝ විදේශිකයන්ටද කිසිදු ගැටලුවක් ඇති නොවන බවද සඳහන් කරයි.
මේ වනවිට මෙරට මිලියන 30 කට ආසන්න ප්රමාණයක් සිම් භාවිත කරන නමුත්, එම සේවාවේ ගුණාත්මක භාවය පිළිබඳව ඔවුන් තුළ පැහැදීමක් නොමැති බවත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා වැඩිදුරටත් කියා සිටී.