විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මෙම වර්ෂයේ (2024) මුල් මාස දහයේ දී රුපියල් බිලියන 1650 දක්වා සියයට 3.9කින් වැඩිවී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
ඔක්තෝබර් මාසයේ දී පමණක් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වශයෙන් රුපියල් බිලියන 172.7 ක මුදලක් ලැබී තිබුණි. 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වශයෙන් ලැබී තිබුණේ රුපියල් බිලියන 168කි.
ඒ අනුව මෙම වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් රුපියල් බිලියන 4.7කින් වැඩි වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
2023 වර්ෂයේ මුල් මාස දහයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් වශයෙන් රුපියල් බිලියන 1,588.2ක මුදලක් ලැබී තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස දහයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස දහයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් රුපියල් බිලියන 61.8කින් වැඩි වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.