ඉන්දියාවේ වගා කෙරෙන වැඩි පොල් ඵලදාවක් ලබාදෙන ප්‍රභේදයක් මෙරට දෙවන පොල් ත්‍රිකෝණය වන උතුරු පළාත ආශ්‍රිත ඉඩම්වල වගා කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ඒ අනුව, උතුරු පළාතේ පොල් ත්‍රිකෝණයේ අලුතින් අක්කර 40,000 ක පොල් වගා කිරීමට නියමිතය. මෙරට වගා කර තිබෙන පොල් ගසකින් වරක දී පොල් ගෙඩි 50 ත් 55 ත් අතර අස්වැන්නක් ලබා ගත්ත ද, ඉන්දියාවේ ඉඩම්වල වගා කරන ඇතැම් පොල් ප්‍රභේදවලින් පොල් ගෙඩි 90 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකි බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න පැවැසීය.
මේ නිසා ඉන්දියාවේ වැඩි ඵලදාවක් ලබාදෙන පොල් ප්‍රභේද උතුරු පොල් ත්‍රිකෝණයේ වගා කිරීම පිළිබඳව පර්‌යේෂණ ඉදිරියේ දී සිදු කිරීමට නියමිතය. උතුරේ පොල් ත්‍රිකෝණයට යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක තුන අයත් වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි උතුරු පළාතේ පොල් ත්‍රිකෝණය නම් කර එහි පොල් වගා කටයුතු විධිමත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදීය.