හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි

මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි තැබූ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිස් අටදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වැලිගම W15 හෝටලය වෙත ගොස් එහි තාප්පයට හා නාම පුවරුවට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී තිබුණි. එම හෝටලයේ පාතාල සම්බන්ධතා ඇති පිරිසක් රැස්ව සිටින බවට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම දියත් කළ බව එවකට කියැවුණි. පසුව එම වෑන් රථය හඹාගෙන ගිය වැලිගම පොලිසිය හා යුද හමුදා නිලධාරීන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු වෙඩි වැදී මිය ගිය අතර තවත් නිලධාරියෙකු තුවාල ලැබීය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම මෙහෙයුම නීතියට පටහැනි එකක් ලෙස තීරණය කරමින්, එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් අටදෙනෙකුට එරෙහිව 2025 පෙබරවාරි 27 වැනිදා විවෘත වරෙන්තුවක් නිකුත් කර, පූරෝකථනාත්මකව මිනීමැරුම් සිදුකිරීමේ (conspiracy to commit murder) චෝදනාවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණි. දිගු කලක් සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පසුව අධිකරණයට ඉදිරිපත් වී රක්ෂිත බන්ධනාගාරගත වූ අතර, පසුව ඇප මත නිදහස් විය.

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද විමර්ශන කමිටුවක් ද දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වූ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු වරදකරු බව අනාවරණය කරමින්, ඔහුව පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කර තිබූ අතර, ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව මගින් ඔහු එම ධුරයෙන් විධිමත්ව ඉවත් කරන ලදී.

දැන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට අදාළව අධිචෝදනා පත්‍රය ගොනු කිරීමත් සමඟ, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අටදෙනාට එරෙහි නඩු විභාගය මහාධිකරණය හමුවේ ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *