ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන පද්ධතිය තුළ ත්‍රිරෝද රථ ක්ෂේත්රය සඳහා නිල පිළිගැනීමක් ලබා දීමට සහ එම ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමට රජය සක්‍රියව පියවර ගනිමින් සිටී.
දශක ගණනාවක් තිස්සේ ජාතික මට්ටමේ නියාමන පද්ධතියකට නිසි ලෙස ඇතුළත් නොවූ මෙම ක්ෂේත්රය, රටේ පොදු ප්‍රවාහන පද්ධතියේ පවතින හිස්තැන් පියවන ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යයක් ලෙස හඳුනාගෙන රජය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.
මෙම විධිමත් කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් මගී ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන, කාර්යාල ප්‍රවාහන, කුලී රථ සහ විශේෂ සංචාරක සේවා ආවරණය වන පරිදි පුළුල් තොරතුරු රැස් කිරීමේ වැඩසටහනක් සාර්ථකව ආරම්භ කර තිබේ.
මීට අමතරව, කුලී රථ හිමියන්ගේ සහ රියැදුරන්ගේ ජාතික සන්ධානයේ නියෝජිතයන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව හමුවී යෝජනා ඉදිරිපත් කර ඇත. එහිදී මගීන්ගේ මෙන්ම රියැදුරන්ගේ ද අයිතිවාසිකම් රැකෙන පරිදි නීති පැනවීමේ වැදගත්කම රජයේ අවධානයට යොමුව තිබේ.
මෙරට සමස්ත වාහනවලින් ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන ත්‍රිරෝද රථ, විශේෂයෙන්ම සාම්ප්‍රදායික පොදු ප්‍රවාහන සේවා ළඟා නොවන ප්‍රදේශවල කෙටි දුර ගමන් සහ සම්බන්ධක ප්‍රවාහන සේවාවක් ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. පාසල් දරුවන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, රෝගීන් සහ සංචාරකයන් ඇතුළු විශාල පිරිසකට දිනපතා සේවය සපයන මෙම ක්ෂේත්රය විධිමත් මගී ප්‍රවාහන ජාලයකට සාර්ථකව සම්බන්ධ කළ හැකි බවට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක විධිමත් ත්‍රිරෝද රථ ටැක්සි සේවාව කදිම ආදර්ශයක් සපයයි.
මෙම නව නියාමනය යටතේ රියැදුරන් ලියාපදිංචි කිරීම, වාහනවල තත්ත්වය පරීක්ෂා කිරීම, විධිමත් ගාස්තු ක්‍රමවේද සහ මගී ආරක්ෂාව පිළිබඳ පැහැදිලි කොන්දේසි හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී ඇත.
දැනටමත් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන වාහන යෝග්‍යතාව, රක්ෂණය සහ මීටර් සවි කිරීම වැනි රෙගුලාසි මුළු රටටම එකලෙස බලපැවැත්වෙන පරිදි සකස් කිරීමට කටයුතු යොදා ඇති අතර, එමඟින් මගී විශ්වාසය තවදුරටත් තහවුරු වේ. මෙමඟින් වාහනවල කල්පැවැත්ම, අමතර කොටස් ලබා ගැනීමේ පහසුව සහ නඩත්තු සේවා කෙරෙහි වැඩි අවධානයක් යොමුවන බැවින් බජාජ් වැනි මනා ලෙස සේවා සපයන නිෂ්පාදකයන්ට ද නව අවස්ථා උදාවනු ඇත. එසේම ඇප් (App) පදනම් කරගත් කුලී රථ සේවා සඳහා පැහැදිලි නියාමනයක් මඟින් ගාස්තු පිළිබඳ විනිවිදභාවයක් සහ ගැටලු විසඳීමේ ක්‍රමවේදයක් ද නිර්මාණය වේ.
රජයේ මැදිහත් වීම මත මෙරට ප්‍රවාහන ක්ෂේත්රය තාක්ෂණිකව නව මාවතකට යොමු කරමින්, පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලිබලයට (Electric conversion) පරිවර්තනය කිරීම කෙරෙහි රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අවධානය යොමු කර තිබේ.
දහස් සංඛ්‍යාත ජනතාවගේ දෛනික ජීවනෝපාය මෙන්ම රටේ ප්‍රවාහන අවශ්‍යතාව සාර්ථකව පවත්වා ගැනීම සඳහා රජය ගෙන ඇති මෙම විධිමත් කිරීමේ පියවර අතිශයින්ම අත්‍යවශ්‍ය වේ. ත්‍රිරෝද රථ ක්ෂේත්රයේ පවතින නම්‍යශීලීභාවයට සහ පහසු ප්‍රවේශයට හානි නොවන පරිදි සේවාවේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අභියෝගය වී ඇති අතර, මෙම පියවර හරහා ත්‍රිරෝද රථ සේවාව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ නිල සහ වගකිවයුතු කොටස්කරුවකු ලෙස ඉදිරියට පැමිණෙනු ඇත.