රටට පිළිලයක් වෙමින් විදෙස්ගතව අපරාධ හා මත්කුඩු ජාවාරම්වල නිරත පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම් දැන් වෙනදාට වඩා තීව්ර වී ඇත. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ, ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර සිටින පාතාලයේ අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් රැසක් මෙරටට රැගෙන ඒමට සිටින බව ය.

“රතු වරෙන්තුකරුවන් 73ක් විතර ගේන්න ඉන්නවා. තවත් සීයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම අපි කරන වැඩපිළිවෙළ විනිවිදභාවය සහ ඒ සම්බන්ධයෙන් අපිට දක්වලා තියෙන ප්‍රගතිය විදේශ තානාපති කාර්යාලවල, රටවල්වල විශේෂ ඇගයීමකට ලක් කරලා තියෙනවා.” මේ ඒ ගැන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ හඬය. පොලිස්පතිවරයා මේ බව සඳහන් කරනු ලැබුවේ මහනුවරදී පසුගිය 15 වැනිදාය.
ඊට පෙර දිනයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදයකුමාර වුට්ලර් මහතා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනු ලැබුවේ මත්කුඩු ජාවාරමටද සම්බන්ධ පාතාල අපරාධකරුවන් 93 දෙනකුට මේ වන විට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදන නිකුත්කර ඇති බවය. එසේම ඔහු මෙහිදී ඉතා වැදගත් කරුණක් රටට හෙළි කළේය. එනම් වත්මන් ආණ්ඩුව බලයට පැමිණි 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ විදේශගතව සිටි පාතාලයේ අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් 73 දෙනෙක් මෙරටට රැගෙනවිත් ඇති බවය. මේ අතරින් 38 දෙනෙකුටම ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත්කර ඇති අයයි.
ඒ හැරුණු කොට රතු නිවේදන නොමැතිව ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය වැනි රටවල් කිහිපයකම රැඳී සිටි පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම විවිධ වැරදි සම්බන්ධයෙන් මෙරටට අවශ්‍ය අපරාධකරුවන් 35 දෙනෙක් මෙරටට ගෙන්වා ගෙන ඇත. විශේෂත්වයක් වන්නේ එම කොටසය. ඒ රතු නිවේදන නොමැතිව එකී රටවල පොලිස්පතිවරුන් සමඟ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ඇති සම්බන්ධකම් මත එම අපරාධකරුවන් මෙරටට රැගෙන ආ බව බොහෝ දෙනා නොදන්නා රහසකි. ඒ ජාත්‍යන්තර පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවලට සහ රැස්වීම්වලට ගොස් කකා, බිබී, සාප්පු සවාරියේ නොගොස් ඒ ඒ රටවල පොලිස් ප්‍රධානීන් සමඟ ඇති කරගත් හිතවත්කම්වල ප්රතිඵලයකි.
ඉන්දුනීසියාවේ රැඳී සිටි කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් 05 දෙනෙක්ද, නේපාලයේ රැඳී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 06 දෙනෙක්ද, මලයාසියාවේ රැඳී සිටි මත්කුඩු ජාවාරම්කරුවෙක් වන සයිමා නමැත්තාද එරටදී සිදු කළ මෙහෙයුම්වලින් අල්ලාගෙන මෙරටට රැගෙන ඒමට හැකියාව ලැබුණේ එකී පොලිස් සම්බන්ධකම් හා වත්මන් රජය ජාත්‍යන්තරයේ දිනාගෙන ඇති විශ්වාසය පදනම් කරගෙනය. මෙවැනි මෙහෙයුම් ඊට පෙර වකවානුවල සිදුවී නැති තරම් බව පොලීසිය පැත්තෙන්ම කියවෙන කරුණකි.
2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන සහ එකී රටවල් සමඟ ඇති සම්බන්ධකම් මත අල්ලාගෙන ආ අපරාධකරුවන් 73 දෙනා අතර වැඩි දෙනෙක්ම ප්‍රබල පාතාල අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන්ය. එම ගොන්නට අලුතින්ම එකතු වන චරිතය බවට පත්වන්නේ ශිරාන් බාසික්ය. අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ලේඛනගතව සිටින ඔහු මෙරටට එවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසිනි. ඒ පසුගිය 14 වැනිදාය.
ශිරාන් බාසික්ව අත්අඩංගුවට ගන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ මඟිනි. ඒ ඉරානය හා අමෙරිකාව අතර ගැටුම් ආරම්භ කර ඉතා කෙටි කලක් තුළදීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුපිරි අවන්හලකදී පසුගිය කාලයේ ශිරාන් බාසික් අත්අඩංගුවට ගන්නේ ඔහුටත් හිතාගන්නට බැරි ආකාරයටය. සන්නද්ධ ආරක්ෂකයන් පිරිසක් ඔහුව වටකර මුලින්ම අතට ගන්නේ ඔහුගේ ජංගම දුරකතනයයි. අත්අඩංගුවට ගැනීම සිදු වන්නේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ඊට හේතු වන්නේ ඉරානය – අමෙරිකාව අතර හටගත් ආරක්ෂක උණුසුම මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති අමෙරිකානු හමුදා කඳවුරුවලට එල්ලවූ ප්‍රහාර වීඩියෝගත කිරීම මෙන්ම එම දර්ශන හා ඡායාරූප බෙදාහැරීම තහනම් කර තිබියදී ඒවා හුවමාරු කිරීම සම්බන්ධයෙනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායිහි ව්‍යාපාර කිහිපයකම හිමිකරුවෙක් වන ශිරාන් බාසික් ශ්‍රී ලංකාවේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් බව මෙරට පොලීසිය පැත්තෙන් කියැවුණත් එරටට ඔහු ව්‍යාපාරිකයෙකි. ඩුබායිහි ඔහු රැඳී සිටියේද ව්‍යාපාරික වීසා මඟිනි. ප්‍රකෝටිපතියෙක් ලෙස ඩුබායිහි වැජඹුණු ඔහු එරට සිටින ලොකුම නීතිඥ සමාගමේ සහය ලබාගනිමින් කෝටි ගණන් මුදල් වැය කළද බේරීමට කිසිදු ඉඩක් නොවීය. ඔහුව සිය මවු රටට පිටුවහල් කිරීමට ඒ වන විටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබුණි. එය දිනෙන් දින ප්‍රමාද වූයේ ඔහු සහය ලබාගත් නීතිඥ සමාගමේ බලවත්කම නිසාය.
ශිරාන් බාසික් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බව මෙරට ආරක්ෂක අංශ කාලයක් තිස්සේම දැන සිටියා පමණක් නොව, ඔහු ගැන ඇස ගසාගෙනද සිටියේය. එමීර් පොලීසිය විසින් බාසික් අත්අඩංගුවට ගෙන දින කිහිපයක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව අනාවරණය වුවත් ඔහුව අත්අඩංගුවට ගැනීම ගැන මෙරට මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වන්නේ මැයි මාසයේ සිටය.
එමීර් පොලිස් අත්අඩංගුවේ සිටි ශිරාන් බාසික් මෙරටට ගෙන්වා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. එය අභියෝගයක් බවට පත් වූයේ ශ්‍රී ලංකාවේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරු ලෙස පොලීසිය විසින් නම් කර ඇති ඔහුට එරෙහිව අඩුම තරමින් ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් පවා නිකුත්කර නොමැති වීම හේතුවෙනි.
පොලිස් තොරතුරුවලට අනුව, බාසික්ගේ ඉතිහාස කතාව පිරික්සීමේදී පෙනී යන්නේ 48 හැවිරිදි වියේ පසුවන ඔහු මත්කුඩු ජාවාරමට අතපොත් තබා ඇත්තේ දශක දෙකකට පමණ පෙරදී බවය. ඒ මේ වන විට මරණ දණ්ඩනය නියම වී සිටින වෙලේ සුදාගේ ගෝලයෙක් ලෙසිනි. එකල ඔහු පදිංචිව සිටියේ දෙහිවල සත්වෝද්‍යානය පිටුපස ඇති වනරතන පාරේය. බාසික්ගේ පියා වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඉහළ අධ්‍යාපනයක් නොලබා සිටි බාසික්ට සිය කුලුඳුල් රැකියාව ලෙස ලැබෙන්නේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ කොඩි කණු අංශයේ කම්කරු තනතුරකි. බාසික් මත්කුඩු ජාවාරමට සම්බන්ධ වන්නේ නගර සභාවේ සේවකයෙක් ලෙස රැඳී සිටියදීය.
බඩෝවිට කේන්ද්‍ර කරගෙන සුළු පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි වෙලේසුදා මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමට මුල පුරන්නේ මේ වකවානුවේදීය. එකල මත්කුඩු ඔතා අලෙවි කරනු ලැබුවේ සිගරට් පෙට්ටියේ ඇති ඊයම් කොළයේය. ඊයම් කොළයේ මත්කුඩු ඔතනවා වෙනුවට මුද්‍රණය කළ කඩදාසියක තමාගේම සන්නාමයක් (Brand) ඇතිව මත්කුඩු මුලින්ම බෙදන්නට ගත්තේ වෙලේසුදාය. නගර සභාවේ රැකියාවට අමතරව පැකට් දහය පහළොව වෙලේසුදාගෙන් ලබාගෙන දෛනිකව මත්කුඩු අලෙවි කිරීමේ නිරතව සිටි බාසික්, පසුව තමාටම කියා ගෝලයන් දෙතුන් දෙනකු බිහිකරගෙන ග්‍රෑම් සිය ගණනින් මත්කුඩු බෙදන්නට පටන් ගන්නේ වෙලේ සුදා රටින් පලා යාමත් සමඟිනි. බාසික් ඒ වන විටත් සිද්ධික් ඇතුළු ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධකම් ගොඩනඟාගෙන සිටියේ වෙලේසුදාගේ අඩිපාරේ යමිනි.
මෑත කාලයේදී දෙහිවල, ගල්කිස්ස සහ කොහුවල ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් සහ ඝාතනවලට නම් කියැවෙන චූවා සමන්ත සහ බඩෝවිට අසංක නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් බාසික්ගේ මුල්කාලයේ ගෝලබාලයන්ය.
දෙහිවල පැත්තේ සිටි ප්‍රබල කසිප්පු ජාවාරම්කරුවෙක් ලෙස පොලීසිය එකල හඳුනාගෙන සිටියේ ආනන්ද නමැත්තාව ය. ඔහුගේ ජාවාරම් මධ්‍යස්ථානය පිහිටා තිබුණේ දෙහිවල වෙරළ තීරය ආසන්නයේය. මැරීන් ඩ්‍රයිව් මාර්ගය අද ඇත්තේ එම භූමිය මැදිනි. ආනන්ද කසිප්පු ජාවාරමේ එදා නිරතව සිටින විට, එතැන සිට මත්කුඩු ජාවාරම කරගෙන ගියේ බාසික් බව පොලීසිය පැත්තෙන් කියැවෙන්නෙකි.
මැරීන් ඩ්‍රයිව් මාර්ගය ඉදිවීමෙන් පසු වෙරළ තීරයට ඉහළ වටිනාකමක් ඇති වූ විට, ආනන්දට අයත්ව වෙරළට යාබදව තිබූ ඉඩම් කැබැල්ලට පවා බාසික් කෙළ හලා තිබුණි. අවසානයේදී කෝටි ගණනක් වටිනා එම ඉඩම් කැබැල්ලේ අයිතිය ආනන්දගෙන් ගිලිහී යන්නේ තෑගි ඔප්පුවකින් බාසික්ගේ පියාගේ නමට ලියැවෙමිනි. එතැන ලොකු හෝටලයක් ඉදිවූ අතර, අවසානයේදී එම හෝටලය සමාගමකට කුලියට දෙන්නේ මසකට රුපියල් ලක්ෂ අට නවයකටය. දේශබන්දුගේ ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව දෙහිවල පිහිටි හෝටලයක් කඩා දැමීමට යාමෙන් රටේ ලොකු ආන්දෝලනයක් ඇති වූයේ ද එම හෝටලය කඩා දැමීමට යාම නිසාය.
එය ශිරාන් බාසික්ට සම්බන්ධකම් ඇති එක් හෝටලයක් පමණි. තවත් හෝටල් හතර පහක්ම මුහුදු මාවත සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව ඇති බව කියැවෙයි. ඒ අතරින් ඔහුගේ පුතාට සම්බන්ධකම් පැවති හෝටලයක් ද පසුගිය කාලයේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කිරීමට (අක්‍රිය කිරීමට) පියවර ගත්තේය.
වෙලේ සුදා පාකිස්තානයේදී අල්ලාගෙන මෙරටට රැගෙනවිත් යහපාලන ආණ්ඩුව සමයේදී ඔහුට එරෙහිව නඩු අසන විට, වෙලේ සුදාගේ අඩුව පුරවන්නේ බාසික්ය. ඔහු මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්වන්නේ 2016 වසරේදීය. ඒ හෙරොයින් ග්‍රෑම් 50ක් හෝ එම ආසන්න ප්‍රමාණයක් සමඟිනි. බන්ධනාගාරගත වන බාසික් ඇප මත නිදහස් වන්නේ 2018 වසරේදීය. ඇප ලැබුණු සැණින් බාසික් රටින් පැන ගන්නේ ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ඇප කොන්දේසි තුළ නොවූ බැවිනි. ඒ 2018 වසරේ ජූනි 02දාය.
එතැන් සිට බාසික්ගේ හැම මෙහෙයුමක්ම සිදු වන්නේ ඩුබායි කේන්ද්‍ර කරගෙනය. ඇෆ්ගනිස්තාන, ඉරාන සහ පාකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මත්කුඩු මෙරට තුළ බෙදාහැරීමේ ජාලයෙන් 50%ක පමණ කොටසක හිමිකාරීත්වය දරන්නේ බාසික් බව පොලීසිය පවසයි. ඒ බාසික් ගනුදෙනු නිසි ලෙස පියවන්නකු ලෙස එම ජාලය තුළ නමක් දිනා සිටින්නකු වන බැවිනි. බාසික් ඩුබායි සිට පොලීසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන් ද නඩත්තු කර ඇති බව කියැවේ. දෙහිවල ගල්කිස්ස ආශ්‍රිතව ක්‍රියාත්මක වන පදනමක් මඟින් ඔහු මාස්පතා දුප්පත් ජනතාවට බඩුමලු බෙදා දුන්නේය. ඒ සඳහා ලක්ෂ ගණනක මුදලක් ඔහු මාස්පතා වැය කරන බව සඳහන්ය.
එම පදනමේ සාමාජිකයන් කිහිප දෙනකු මෑතකදී පැවති පළාත් පාලන මැතිවරණයට පවා ප්‍රධාන දේශපාලන පක්ෂයකින් දෙහිවල ගල්කිස්ස නගර සභාවට තරගකර තිබුණි. සිය පුතාව පවා දේශපාලනයට ගෙන්වා ප්‍රධාන දේශපාලන පක්ෂයකින් තරග කරවීමට උත්සාහයක් ද ඔහු ගත්තේය. ඊට වැට බැඳෙන්නේ මුදල් විශුද්ධිකරණය යටතේ පුතාට එරෙහිව නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ආරම්භ කළ විමර්ශනයක් හේතුවෙනි.
බාසික් ඩුබායි සිට ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකටම උදව් උපකාර කර ඇති බව සඳහන්ය. සිය පදනමේ දෙදෙනකු දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවට ඉදිරිපත් කළ පක්ෂය විසින් දෙහිවල සංවිධානය කළ ලොකුම දේශපාලන රැස්වීමට වියහියදම් දරා තිබුණේ බාසික් බව බුද්ධි අංශ එකල වාර්තා කර තිබුණි. හිටපු ජනාධිපතිවරයකු ද එම රැස්වීමට සහභාගි වී සිටි බව සඳහන්ය.
මෑතකදී ආරම්භ කළ තවත් දේශපාලන පක්ෂයක මැතිවරණ සමයේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමකට පවා දෙහිවල ගල්කිස්ස පැත්තෙන් බස් රථවල පටවා සෙනඟ ඇද තිබුණේ බාසික්ගේ අණට අනුව යැයි කියැවෙයි. බස් රථ 10ක් පමණ පුරවා 1,000කට ආසන්න පිරිසක් එදා සුගතදාස ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් තිබුණු බව සඳහන්ය. ඒ පැමිණි එක් අයකුට රුපියල් 3,000ක් සමඟ කන්න බොන්න පවා ලබාදෙමිනි.
බාසික් ඩුබායිහි රැඳී සිටිමින් දේශපාලන ‘ගේම්’ ගැසුවේ එසේය. එසේම අල්ලන්නට හැකි හැම පැත්තකින්ම පොලීසියේ උදවිය මෙන්ම තවත් බොහෝ තැන්වල උදවිය මුදල් බලයෙන් තමා වෙත නම්‍යශීලී කරගත්තේය. එසේ වුවද, ඔහු එම බලය යොදාගෙන මිනීමැරූ බවට හෝ බියගැන්වීම් කළ බවට කිසිදු පැමිණිල්ලක් පොලිස් පොත්වල නැත. අඩුම තරමින් බාසික් අදටත් අධිකරණයකින් වරදකරු වී ඇති බවට තොරතුරක් සොයා ගැනීමට නැති තරම්ය.
බාසික් මත්කුඩු ජාවාරම පමණක් කරගෙන ගිය අයකු මිස, පාතාල අපරාධවලට සම්බන්ධ වූ අපරාධකරුවකු ලෙස කුප්‍රකට වූයේ ද නැත. ඒ නිසා සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට මෙන් ඔහු සම්බන්ධයෙන් සමාජයේ හෝ පොලීසියේ විශේෂ අවධානයක් යොමු වූයේ ද නැත. 2016 වසරේදී මත්කුඩු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඇල්ලූ නඩුවෙන් පවා 2024 මාර්තු 14 වැනිදා අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කරන්නේ එවැනි තත්ත්වයක් හමුවේය. ඒ සාක්ෂි පරස්පරවූ තත්ත්වයක් හමුවේය.
මෙම කුඩු නඩුව සම්බන්ධයෙන් බාසික් අධිකරණය මඟහැර විදෙස්ගතව සිටීම හේතුවෙන්, ජාත්‍යන්තර පොලීසිය මඟින් ඔහුට එරෙහිව රතු නිවේදනයක් පවා පොලීසිය ලබාගෙන තිබුණි. එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමත් සමඟ රතු නිවේදනය පවා ඉවත් කරගැනීමට සිදු වන්නේ එය තවදුරටත් වලංගු නොවූ බැවිනි.
බාසික් එසේ රතු නිවේදනයෙන් නිදහස ලබන විට, 2024 වසරේ මැයි 01 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ එකල පැවති විශේෂ පොලිස් අංශය විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලදී මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමඟ කොටුකර ගන්නේ බාසික්ගේ කළමනාකරු බව කියන පුද්ගලයාය. ෙමරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක මහරගම පිහිටි ශාඛාවේ හිටපු කළමනාකරු වූ ඔහු මත්කුඩු ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ සුඛෝපභෝගී ජීප් රථයකිනි. බාසික්ගේ මත්කුඩු ජාලයේ එතෙක් සැඟවුණු රහස් රැසක් හෙළි වන්නේ ඒ සමඟිනි.
එහෙත් ඒ ගැන වැඩි කාලයක් එම නිලධාරීන්ට විමර්ශන පැවැත්වීමට ඉඩක් නොවීය. මාස දෙකක් යන්නට මත්තෙන් එම ඒකකයේ නිලධාරීන් සීසීකඩ මාරු කර යැවිණි. ඒ පිටුපස සිටියේ ශිරාන් බාසික් බව එම නිලධාරීන් පවා දැනගන්නේ බොහෝ කාලයකට පසුවය. එකල ආණ්ඩුවේ සහ පොලීසියේ ඉහළ නිලධාරීන් සමඟ ශිරාන් බාසික්ට පැවති සම්බන්ධකම් එකල එතරම් ප්රබලය. ශිරාන් බාසික්ට ‘සර්’ යැයි කියන පොලිස් නිලධාරීන් ද නැත්තේම නැති තරම්ය.
ඉරාන හා අමෙරිකා යුද්ධය ඇති නොවන්නට බාසික් තවදුරටත් ඩුබායිහි රැඳී සිටිමින් නිදහසේ මත්කුඩු ජාවාරම මෙහෙයවනු ඇත. වැඩ වැරදුණු ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට පොලීසිය පසුගිය කාලය පුරාවටම නොගත් වෙහෙසක් නැති තරම්ය. එසේ වුවද එකවර ඔහුව මෙරටට භාරදීමට තරම් එමීර් පොලීසිය සූදානම් වූයේ නැත. ඔහුව සාජාහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබාගෙන දෛනිකව එමීර් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. මාස 05ක පමණ කාලයක් රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම් සහ විමර්ශන අවසානයේදී ඔහුගේම මුදලින් ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර මෙරටට එවන්නේ ‘එයාර් ඇරේබියා’ ගුවන් යානයක නංවාය.
ශිරාන් බාසික් මෙරටට එන බව දින දෙකක සිට මෙරට පොලීසිය දැන සිටි අතර, ඔහු සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද සිටියේ දැඩි විමසිල්ලෙනි. ඒ අවශ්‍යතාවක් මතු වුවහොත් ඔහුව මෙරටට පිටුවහල් කිරීමේදී අවශ්‍ය වන තාවකාලික විදෙස් ගමන් බලපත්‍රය පවා සකස්කර දෙන්නටය. අවසානයේදී ඔහු මෙරටට එවන්නේ පිටුවහල් කිරීමකින් තොරව සාමාන්‍ය ගුවන් මගියකු ලෙසිනි.
මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේදී 2019 වසරේදී ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගත් අය අතර සිටි කංජිපානි ඉම්රාන් මෙරටට එවීමේදී, ඔහු ගුවන් යානය තුළ රැඳී සිටිමින් සිය ජංගම දුරකතනයෙන් ගුවන් ටිකට්පත් නියෝජිතයන් සම්බන්ධ කරගෙන ගුවන්තොටුපොළින් පිටතට ඒමට පෙර මාලදිවයිනට පැන ගැනීමට උත්සාහයක් ගත්තේය. ඊට නොදෙවැනි සැලසුමක් බාසික්ට තිබුණු බව පොලිසිය සැක කළේය. එය ව්‍යර්ථ වන්නේ මාලදිවයින බලා ගුවන්ගත වීමට තිබුණු ගුවන් යානය ගුවන්ගත කිරීමට පෙර බාසික් රැගත් ගුවන්යානය ගොඩබස්සවා නොතිබුණු බැවිනි.
බාසික් රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්සන විට, මුළු ගුවන්තොටුපොළේම ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඒ ඔහුට සුළු ඉඩකින්වත් රිංගා පලා යාමට ඉඩ නොතබමිනි. ගුවන්යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව බාසික්ව පහසුවෙන් හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා භාරදෙන්නේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටය. ඔහුව එම කාර්යාංශයේ රඳවාගෙන විමර්ශන පවත්වන්නේ පැය 72ක රැඳවුම් නියෝගයක් ද ලබාගෙනය. එම රැඳවුම් නියෝගය තවත් කාලයකට දීර්ඝ කරගැනීමේ උත්සාහයක් ද නැත්තේම නැත. ඒ වෙනුවෙන් සිදු වන කටයුතු බොහෝය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ බාසික්ට එරෙහිව ගිනිඅවි සන්තකයේ තබාගැනීමක්, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් ගල්කිස්ස, දෙහිවල සහ පිළියන්දල පොලිස් ස්ථානවල විමර්ශන ඇති බවය. ගිනිඅවි සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් බාසික්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ ඔහු රටින් යන්නට පෙරය. ඒ ඔහුටත් බිරියටත් කළුබෝවිල රෝහල ආසන්නයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් අනතුරුවය. බාසික් සිය ආරක්ෂාවට ගිනිඅවියක් ළඟ තබාගෙන සිටින්නේ එම සිදුවීමෙන් අනතුරුවය. ගිනිඅවි චෝදනාවක් එල්ල වන්නේ එම අවිය සමඟ ඔහු පොලීසිය අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිණි.
මේ හැරුණුකොට බාසික්ට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ද, නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයකු වීම හා අනර්ථ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ ඇති නඩු ගැන එහි කිසිඳු සඳහනක් නැත. ඇත්තේ ඔහුට ඇති චෝදනා පමණි.
මේ අතර බුද්ධි අංශ සඳහන් කරනු ලබන්නේ බාසික් ඇපමත මුදාගැනීමට රුපියල් කෝටි ගානක් වුවත් වියදම් කිරීමට ඔහුගේ සගයන් මේ වන විටත් සූදානමින් සිටින බවය. මේ තත්ත්වය මත පැය 72ක් අවසන් වන විට බාසික් අධිකරණයට ඉදිරිපත් කරයිද? නැතිනම් තවදුරටත් රඳවාගෙන විමර්ශන පවත්වාවිදැයි ද? ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වන තොරතුරු මතය.