ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසා සිටියේ, ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත එය නිමා කිරීමට බලාපොරොත්තු වන බවය.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා අතර ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇත.
මෙම අවස්ථාවට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිත කණ්ඩායමක්ද එක්ව තිබේ.
ව්‍යාපෘතියට අදාළ ණය මුදල සහ කොන්ත්‍රාත් වටිනාකම පිළිබඳ අනුමැතිය කඩිනම් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ අතර, එම පියවරයන් සම්පූර්ණ වීමෙන් අනතුරුව ලබන නොවැම්බර් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මුලින්ම ආරම්භ වූයේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදීය. මේ සඳහා ජපන් රජය මඟින් යෙන් බිලියන 75ක ණය ආධාර ලබා දී තිබිණි.
කෙසේ නමුත් රටේ ඇති වූ ආර්ථික කඩා වැටීම හේතුවෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර විය.
2024 වර්ෂයේ අග භාගයේදී මේ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කළ අතර, 2025 වසරේදී ලංසු කැඳවීම් අවසන් කර මේ වනවිට අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ අවසන් අදියරට පැමිණ ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා රජය, ජපන් රජය සහ JICA ආයතනය සමඟ සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් පසුව, වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය මත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ණය ප්‍රතිපාදන ලබා දීමට ජපාන පාර්ශවය එකඟත්වය පළ කර තිබේ.
ව්‍යාපෘතියට අවශ්‍ය අදාළ ණය මුදල් ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ ඉක්මණින් සාකච්ඡා කර අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ වූ බවද නිවේදනයේ දැක්වේ.
එහිදී JICA නියෝජිත පිරිස යෝජනා කළේ පළමු පියවර ලෙස ණය මුදල ස්ථීර කර ණය ගිවිසුම් අත්සන් කිරීමත්, දෙවන පියවර ලෙස සාකච්ඡා කරගත් මිල මත කොන්ත්‍රාත්තුව පිරිනැමීමත් සිදු කළ යුතු බවයි.
මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.