මතභේදයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්බියුලින් එන්නත් භාවිත කරමින් ප්‍රතිකාර කළ රෝගින් පිළිබඳව තොරතුරු රැස්කරමින් පරික්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඊට හේතුවී ඇත්තේ මෙම එන්නත් තොගයේ බැක්ටීරියා ඇති බවට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් කළ පරික්ෂණයෙන් අනාවරණය වීමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඒ බව රජයේ රස පරික්ෂක වාර්තා උපුටා දක්වමින් පසුගිය දහවනදා දන්වා ඇත.
තවද මෙම එන්නත් තොගය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරය තුළද පරික්ෂණයක් කළ අතර එමගින් අනාවරණය වූයේ එන්නත් කුප්පි තුළ බැක්ටීරියාවක් ඇති බවය.
කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, මාතර මහරෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල, යන රෝහල්වලින් ලැබුණු පැමිණිලි මත මෙම එන්නත පිළිබඳව පරික්ෂණ ආරම්භ කෙරිණි.
එම එන්නත ලබාදුන් රෝගින් පිළිබඳව තොරතුරු රැස්කර පරික්ෂණ ආරම්භ කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අරුණට කියා සිටියේය.
මෙම එන්නත් බෙදාහරින ලද රෝහල් පිළිබඳව තොරතුරු ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයේයි. එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම රෝහල් සහ රෝගින් පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබෙනවා.
එම තොරතුරු මේ වන විට එකතු කරමින් තිබෙනවා යැයි එම පරික්ෂණ සිදුකරන ආකාරය පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් කළ විමසීමක් කළ විට පැවසීය.
මෙවැනි බැක්ටීරියා සහිත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් රෝගින්ට ලබා දීමේදී එච් අයි වි ඒඩ්ස් , හෙපටයිටිස් බී ,හෙපටයිටිස් සී, සහ බැක්ටීරියා අසාදන වැනි රෝගාබාධවලට ලක්විය හැකි බව වෛද්‍යවරු පවසති.
එම නිසා මෙම රෝගින් යළි පරික්ෂා කිරීමට නියමිතව ඇත.
මෙම ප්‍රතිදේහ ජනක එන්නත් දහසකට අධික සංඛ්‍යාවක් රෝහල්වලට බෙදා දී තිබූ අතර එම එන්නත් තත්ත්වයෙන් බාල බවට අනාවරණය වීමෙන් පසු භාවිතයෙන් ඉවත්කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළේය .
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මාළිගකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (02 වැනිදා) ඉදිරිපත් කළ අවස්ථාවේ නඩු කටයුත්ත පිළිබඳ සම්පූර්ණ වාර්තාව දහවන පිටුවේ පළ වේ.