කොළඹ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියරේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවතත් ආරම්භ කිරීමට රජයේ අනුමැතිය හිමිවීමත් සමඟ, මෙරට දේපළ වෙළඳපොළ නවතම වර්ධනීය අදියරකට පිවිසීමේ පසුබිම සකස් වී ඇති බව LankaPropertyWeb (LPW) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිත අතර, එමඟින් කොළඹ සහ සබරගමුව පළාත අතර ගමනාගමන සබඳතාවන්හි කැපී පෙනෙන දියුණුවක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය ප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වුවද, අදාළ අධිවේගී මාර්ග අන්තර් හුවමාරු ආශ්රිත ප්‍රදේශවල දේපළ ඉල්ලුම වෙනස් කරමින් නව ආයෝජන අවස්ථා රැසක් නිර්මාණය කිරීමට සමත් වන බව LPW පර්යේෂණ අංශය පෙන්වා දෙයි.
LankaPropertyWeb හි ඉඩම් මිල දර්ශක (Land Price Index) දත්තවලට අනුව, රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර සිටම ඉංගිරිය සහ පාදුක්ක ප්‍රදේශ මෙරට ඉඩම් වෙළඳපොළ තුළ ඉහළම වර්ධනයක් සටහන් කර ඇත. 2017 සහ 2025 අතර කාලය තුළ ඉංගිරිය ප්‍රදේශයේ ඉඩම් පර්චසයක සාමාන්‍ය විකුණුම් මිල රු. 49,363 සිට රු. 344,850 දක්වා හත් ගුණයකට ආසන්නව ඉහළ ගොස් තිබේ. එම කාල සීමාව තුළදීම පාදුක්ක ප්‍රදේශයේ ඉඩම් මිල 151.3% කින්ද, කොළඹ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ඉඩම් මිල 66.9% කින්ද, කළුතර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ඉඩම් මිල 123% කින්ද ඉහළ ගොස් ඇත. මෙයින් පැහැදිලි වන්නේ මෙම ප්‍රදේශ ද්විත්වය සමස්ත වෙළඳපොළ ප්රවණතාවලටත් වඩා වේගවත් දිගුකාලීන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.
ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ පොල්ගස්ඕවිට, ගෝනපළ, හොරණ ඇතුළු අධිවේගී මාර්ගයට ආසන්න ප්‍රදේශවල දේපළ වටිනාකම් ඉහළ යාමේ ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් වන බව LPW විශ්ලේෂණය කරයි. කොළඹට පහසුවෙන් ළඟාවීමට හැකිවීම, ගමන් කාලය අඩුවීම සහ ප්‍රධාන නගර, පාසල්, රෝහල් වෙත පහසුවෙන් ළඟාවිය හැකිවීම නිවාස හිමියන්ගේ සහ ආයෝජකයින්ගේ ආකර්ෂණය වැඩි කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුව ඉදිවීමත් සමඟ එම ප්‍රදේශයේ නේවාසික සහ වාණිජ කටයුතු ශීඝ්‍රයෙන් වර්ධනය වී ඉඩම් වටිනාකම ඉහළ ගොස් ඇත. අද වන විට කහතුඩුව යනු ඉහළ ඉල්ලුමක් සහිත කොළඹට තදාසන්න ප්‍රධාන නගරයකි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ග හුවමාරුවද කහතුඩුවේදී ඉදිවන බැවින්, එම ප්‍රදේශයේ වැදගත්කම තවදුරටත් ඉහළ යනු ඇත.
යටිතල පහසුකම් සංවර්ධනය මඟින් ප්‍රදේශයක දේපළ වෙළඳපොළ පරිවර්තනය වන ආකාරය පිළිබඳ හොඳම උදාහරණය කහතුඩුව වන අතර, ඊළඟට මෙහි වැඩිම ප්රතිලාභ ලබන ප්‍රදේශය බවට ඉංගිරිය පත්වනු ඇතැයි LankaPropertyWeb පුරෝකථනය කරයි. පළමු අදියරේ අවසානය වන ඉංගිරිය, කොළඹට ආසන්නව සාධාරණ මිලකට ඉඩම් සොයන්නන්ගේ සහ දිගුකාලීන ආයෝජකයින්ගේ ප්‍රධාන තේරීම වනු ඇත.
මීට අමතරව, ඉදිරි අදියරයන් ක්‍රියාත්මක වීමත් සමඟ කුරුවිට, රත්නපුර, පැල්මඩුල්ල මෙන්ම බලංගොඩ, බෙලිහුල්ඔය, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල දක්වා වූ ප්රදේශවලද පවතින මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවද මෙරට ප්රමුඛ වාණිජ බැංකුවල මාස 12 ස්ථාවර තැන්පතු සඳහා දැනට ලැබෙන සාමාන්‍ය පොලී අනුපාතය වසරකට 9% ක් වැනි අගයක පවතිද්දී, 2017 සහ 2025 අතර කාලය තුළ ඉංගිරිය 598.59% කින් සහ පාදුක්ක 151.24% කින් ඉඩම් මිල වර්ධනයක් සටහන් වීමෙන් දිගුකාලීන ආයෝජනයක් ලෙස ඉඩම්වල ඇති ඉහළ ප්‍රාග්ධන වර්ධන (capital appreciation) හැකියාව පැහැදිලි වන බවද LankaPropertyWeb විසින් පෙන්වා දෙයි.
LankaPropertyWeb හි පර්යේෂණ හා විශ්ලේෂණ ප්‍රධානී චාමර තෙවරප්පෙරුම මහතා සඳහන් කළේ, “අපගේ ඉඩම් මිල දර්ශකය මඟින් පසුගිය වසර කිහිපය පුරාම ඉංගිරිය සහ පාදුක්ක ප්‍රදේශවල ඉහළ ඉල්ලුමක් පෙන්නුම් කළා. රුවන්පුර අධිවේගී මාර්ගයට අනුමැතිය ලැබීමත් සමඟ මෙම ප්‍රදේශ කෙරෙහි ඇති ආයෝජක විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා,” යනුවෙනි.
මේ පිළිබඳව අදහස් දැක්වූ LankaPropertyWeb හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තරිඳු ජයරත්න මහතා, “ගමනාගමන පහසුකම් වැඩිදියුණු වීමත් සමඟ, අතීතයේ කොළඹින් ඈත ප්‍රදේශ ලෙස සැලකූ ප්‍රදේශ නේවාසික, වාණිජ සහ ආයෝජන කටයුතු සඳහා වඩාත් ආකර්ෂණීය වෙළඳපොළවල් බවට පත්වෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයත් එවැනිම පරිවර්තනයක් ඇති කළ හැකි ව්‍යාපෘතියක්. විශේෂයෙන්ම අන්තර් හුවමාරු ආශ්රිත ප්‍රදේශවල නව නේවාසික හා වාණිජ සංවර්ධන, ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ දේපළ ඉල්ලුම ක්‍රමයෙන් වර්ධනය වීමට මෙය පදනමක් සකස් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.” යැයි පැවසීය.
LPW හි නවතම ඉඩම් මිල දර්ශක දත්ත https://www.lankapropertyweb.com/land-prices/ වෙබ් අඩවියෙන් ලබාගත හැක.