තම නොහැකියාව වසා ගැනීමට වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීමට සහ ඔවුන් පෙර කළ ප්‍රකාශ මාධ්‍යයෙන් ඉස්මතු වන විට ඊට විරුද්ධව කටයුතු කරන මාධ්‍ය මර්දනය කරනවා. මාධ්‍ය කොමිසමක් ඇතිකොට මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කරනවා.
මාලිමා රජය බලයට පැමිණියේ මේ රටේ ජනතාවට අඩු මිලට කන්න බොන්න දෙනවා කියලා. නමුත් මේ වන විට ජනතාවට දරා ගත නොහැකි ලෙස බඩු මිල ඉහළ ගිහිල්ලා. පොල් සම්බෝලයක් කාලවත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් අද උද්ගත කරලා. මේ වන විට ලුණු ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 300 ගාණකට ඉහළ ගිහින්. මේ ආකාරයට පොල්, හාල් සහ එළවළුවල මිල ඉහළ ගිහින්. ජනතාවට කන්න බොන්න නැති කළ ආණ්ඩුවක් බවට මාලිමා ආණ්ඩුව පත්වෙලා. බොරුවට හොරු අල්ලනවා කියලා සංදර්ශන පවත්වා ජීවන වියදම වසා දමන්න උත්සාහයක් දරමින් සිටිනවා. පහුගිය සතියම මාලිමා ආණ්ඩුව ජීවත් වුණේ කැරම් බෝඩ් බෙදලා හිරේට ගිය මහින්දානන්ද සහ නලින්ගේ පිහිටෙන්. ඔවුන් දෙදෙනා හිරේට දැම්මේ අපි දැකපු විදිහට නම් මහජනතාවගේ බදු මුදල් හොරකම් කරලා නොවේ. ඒ බදු මුදල්වලින් ගමේ තිබෙන ක්‍රීඩා සමාජවලට කැරම් බෝඩ්, දාම්බෝඩ් බෙදලා. මෙය නීතියෙන් වැරදි නම් වැරදි දේ වැරදි. වැරදිකරුවන්ට දඬුවම් කරන්න ඕනෙ.
රජයේ තිබෙන අස්ථාවරත්වය, වැඩි වන ජීවන වියදම සහ නොහැකියාව මත මේ ආණ්ඩුවට දිනෙන් දින ඉතා දැඩි ලෙස චෝදනා එල්ල වෙනවා. මේ ආණ්ඩුවට ඇතිවෙලා තිබෙන ප්‍රධානම හතුරා ඔවුන්මයි. මේ ආණ්ඩුවට අද තිබෙන ප්‍රධානම බාධකය මේ ඉන්න මැති ඇමැතිවරුන්ම තමයි. මේ සියල්ලම වහගන්න ඉතාම දැඩි මාධ්‍ය වාරණයක් ඇති කරලා.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මේ රටට විශාල වැඩ කොටසක් කළ, යුද්ධය නිමා කළ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට විරුද්ධවත් මාධ්‍ය කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා කිසිදු වෙලාවක මාධ්‍යයට අත තිබ්බේ නෑ. තමන් දේශපාලන බලයේ රැඳී සිටින්න ඕනෙ කියලා නිදහස් මාධ්‍යයට අත තියලා ඉදිරියට යන්න මහින්ද රාජපක්ෂ මහතාවත් අපේ පක්ෂයවත් කිසිම දවසක කටයුතු කළේ නෑ.
එක් එක් පළාත් පාලන ආයතනය වෙන් වෙන් වශයෙන් සලකා බලා ජනතාවගේ අභිලාසවලට ගරු කරමින් ජනතාවට අවශ්‍ය ආකාරයේ සභාවක් පිහිටුවීමට පක්ෂයක් හැටියට අපි දායකත්වය දෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළා බෙහෙතක් වෙනුවට ඇල් වතුර දුන්නා කියලා. ජනතාවට ඇල්වතුර එන්නත් කළා කියන චෝදනාව තමයි ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය කිව්වේ. හැබැයි ජනතාවට ඇල්වතුර එන්නත් කළා කියන චෝදනා මුඛයෙන් කතා කළ නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිවරයාගේ අමාත්‍යාංශයෙන් එම එන්නත්වල කිසිදු ප්‍රශ්නයක් නෑ කියන කාරණයෙන් අපට යම් දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය අපහසුතාවට පත්කරන්න, පසුගිය රජය පෙරළා දමන්න විවිධාකාරයෙන් ලංකාවට පැමිණි ඩොලර් කොයි ආකාරයෙන් කටයුතු කර තිබෙනවා ද කියලා මහජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමයි.
මේ සම්බන්ධයෙන් තවම අපි තොරතුරු සොයමින් සිටිනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ඇමැතිවරයෙක් මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කර සිදු කළ ඒ පරීක්ෂණයකින් පසු රජයෙන්ම චක්‍රලේඛයක් නිකුත් කරනවා නම් එම ඖෂධවල කිසිදු වරදක් නෑ, භාවිතයට සුදුසුයි කියලා ඒ ගැන ඉතාම පරිස්සමෙන් සොයා බැලිය යුතුයි. ඒ අවස්ථාවේදී මේ බොරු මතවාදයක් ලෙස සමාජයේ වපුරා තිබෙන්නේ කවුද, එම පුද්ගලයන් පිළිබඳ සොයා බලලා අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් දිය යුතුයි.
කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට අපට පෙනී යන එක දෙයක තිබෙනවා. එනම් පවතින ආණ්ඩුවට කොළඹ නගර සභා බල සීමාවේ පදිංචිව සිටින ජනතාවගෙන් අතිබහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර නැති බවයි. ඒ අනුව කොළඹ නගර සභාවේ ජනතාව බහුතරයක් මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහයෝගය පක්ෂයක් හැටියට අපි දෙන්න කැමතියි.”