ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 900ක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 700ක් පමණ ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා, ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය කළමනාකරණය කිරීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ විජිත හේරත් මහතා,
“පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කරුණු දක්වා තිබෙනවා. ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් අපේ ආර්ථිකයේ විචලන ඇතිව තිබෙනවා. ඊට මුහුණදීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ලෝක තත්ත්වය නිසා මෙවැන්නක් සිදුව තිබෙනවා. එසේ නොමැතිව රට අභ්‍යන්තරයේ තත්ත්වයක් නිසා නොවෙයි. කලාපයේ රටවල් රැසක මුදල් අවප්‍රමාණය වී තිබෙනවා. අපේ මුදල් විදේශයන්ට වේගයෙන් ගලා යෑම පාලනය කරන්න පියවර ගනිමින් සිටිනවා.
ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 700ක් පමණ ඉදිරියේදී ලබාදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පවතින තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියා විශ්වාස කරනවා. ලෝක තත්ත්වයට මුහුණ දෙන විට යම් යම් තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉන්දියාවේ අගමැතිවරයා විවිධ ප්‍රකාශ කර තිබුණා. ලෝක යුද තත්ත්වය සමඟ එවැන්නක් සිදු වෙනවා” යැයි පැවසීය.