රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනිම සහ භාවිතය තහනම් කරයි

සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය මෙමස 31 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නතර කළයුතු බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ සංශෝධනයක් නිකුත් කර ඇත.

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධව නිකුත් කරන ලද 09/2025 චක්‍රලේඛයේ 2.1.2 උප වගන්තිය මෙහිදී සංශෝධනය කර ඇත.

එම උප වගන්තියේ මීට පෙර පැවැතියේ තනි භාවිත ප්ලාස්ටික් භාවිතය අධෛර්යමත් කිරීම සහ පරිසර හිතකාමී විකල්ප භාවිතය මගින් ප්ලාස්ටික් පරිභෝජනය අවම කිරීමය. ඒ අනුව කාර්ය මණ්ඩලය රැස්වීම්/ සාකච්ඡා/ වැඩමුළු පැවැත්වීමේදී ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කිරීම සඳහා ක්‍රමවේදය යෙදීම කෙරෙහි අවධානය යොමු කිරීම, රාජ්‍ය ආයතනවල පිහිටි ආපනශාලාවලද ප්ලාස්ටික් බෝතල් සහ ආහාර දවටන භාවිතය අවම කිරීම යනාදිය එහි සඳහන්කර තිබුණි.

පරිසර අමාත්‍යාංශයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර විසින් මෙම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට නිකුත් කර ඇත.

හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් විසින් 2023 වසරේ ජූලි මස 19 වැනිදා නිකුත් කරන ලද අංක 2341/30 අති විශේෂ ගැසට් පත්‍රය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2017 සැප්තැම්බර් මස 01 වැනිදා නිකුත් කරන ලද අංක 2034/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය හා 2025 අප්‍රේල් මස 02 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2025 සඳහන් විධිවිධාන තවදුරටත් බලාත්මක බවද අදාළ චක්‍රලේඛයේ දැක්වේ.

අංක 2341/30 අති විශේෂ ගැසට් පත්‍රය අනුව 2023 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත බීම බට සහ කලතන, ගුවන් ගමන්වලදී හැර තනි භාවිත ප්ලාස්ටික් ආහාර බහාලුම්, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, මල් මාලා, ඉඳි ආප්ප වට්ටි භාවිතය තහනම් කර ඇත.

අංක 2034/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව සියලුම ආකාරයේ පොලිතින්, පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සඳහා භාවිතය තහනම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *