ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව නන්කායි අගල (Nankai Trough) පිහිටි ප්‍රදේශයේ අති ප්‍රබල මට්ටමේ මෙගා භූමිකම්පාවක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඉදිරි කාලයේදී එවැනි මෙගා භූමිකම්පාවක් සිදු වුවහොත්, එමඟින් හට ගන්නා දැඩි කම්පන තරංග සමඟ විශාල සුනාමි තත්වයක් අපේක්ෂා කරන බව අඳාළ නිවේදනය තුළින් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය තුළින් පෙන්වා දී අත්තේ, නිශ්චිත කාල සීමාවක් තුළ අඳාළ භූ කම්පනය සිදුවන බව පැවසිය නොහැකි බවත්, පවතින භූ ගෝලීය සාධක මත එවැනි භූ කම්පනයක් සිදුවීමේ හැකියාව මේ වනවිට ඉහළ මට්ටමක පවතින බවත් ය.
එමෙන්ම භූ විද්‍යාඥයන් සඳහන් කරන්නේ ජපානය තුළ භූ කම්පන ක්‍රියාකාරීත්වය පෙරට සාපේක්ෂව මේ වනවිට ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි.
ජපානයේ නිරිතදිග පැසිෆික් වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති නන්කායි අගල ආසන්න වශයෙන් කිලෝමීටර 900 දක්වා දුරට විදිහී පවතින අතර, දළ වශයෙන් වසර 100 සිට 150 දක්වා කාලය තුළ මෙගා භූ කම්පනයක් ඇති වන බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව එහි වඩාත්ම මෑත කාලීන ප්‍රබල මට්ටමේ භූ කම්පනය සිදුව ඇත්තෙ වර්ෂ 1946 දෙසැම්බර් 21 වන දින වන අතර එම අවස්ථාවේදී එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 8.1 ත් 8.4 අතර අගයක් සටහන් වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ සමඟ එරට කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ටෝකියෝ අවට ප්‍රදේශවල සිට දකුණු ඔකිනාවා ප්‍රාන්තයේ ප්‍රදේශ දක්වා විහිදෙන කලාපයේ ඇති මහ නගර සභාවලට ඔවුන්ගේ භූමිකම්පා සූදානම පරීක්ෂා කරන ලෙසට දැනුම් දී ඇති බවද සඳහන්.
භූ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නන්කායි අගලෙන් හට ගන්නා මෙගා භූමිකම්පාව ෂිසුඕකා ප්‍රාන්තයේ සුරුගා බොක්ක සහ කියුෂු දූපතට ඔබ්බෙන් වූ Hyuga-nada මුහුද අතර භූ තැටි මායිම දිගේ සිදු විය හැකි බවයි.
එය වර්තමානයේ සිට ඉදිරි දශක තුන ඇතුළත ඇති වීමට 70% සිට 80% දක්වා ඉහළ සම්භාවිතාවක් පවතින අතර ඇති වන මෙගා භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 8 ත් 9 අතර පරාසයක පවතිනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අඳාළ නිවේදනයත් සමඟ ජපාන රජය විසින් සිදුකර ඇති ඇස්තමේන්තුවකට අනුව, පෙර සූදානමකින් තොර දරුණුතම අවස්ථාවේදී කඩාවැටෙන ගොඩනැගිලි, ගිනිගැනීම්, සුනාමි තත්වයෙන් සහ වෙනත් සාධකවලින් පුද්ගලයන් 224,000ක් පමණ මිය යා හැකි බවත්, මිලියන 2.38 කට වැඩි ගොඩනැගිලි ප්‍රමාණයක් විනාශ විය හැකි බවත්, එමඟින් ජපානයට සිදුවිය හැකි ආර්ථික හානිය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 13ක් විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.