වැලිපන්නේ වගේ දක්ෂිණ අධිවේගයේ කහතුඩුව සේවා පියස ඉදිකිරීම දේශපාලඥයෙකුගේ මැදිහත්වීම මත නවතියි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8යි දශම 5 කහතුඩුව ප්‍රදේශයේ මීට වසර පහකට පෙර ඉදිකිරීමට පිඹුරුපත් සැකසූ විවේක සේවා මධ්‍යස්ථානය ප්‍රබලම දේශපාලඥයෙකුගේ මැදිහත්වීම මත අත්හිටුවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ඉදිකිරීම් කටයුතු සඳහා එම ස්ථානයට ගොඩබා තිබෙන විශාල ගල් ගොඩවල් මේ වන විටත් දක්නට ලැබෙන බවත් ඒ මත වල් බිහිවෙමින් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.ඊට හේතුව මේ වනවිට ක්‍රියාත්මක වැලිපැන්න සේවා පියස එම දේශපාලනඥයා යටතේ මෙහෙයවීම හේතුවෙන් බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

අධිවේගී මාර්ගය ආරම්භ කළ 2011 වසරේ සිට මේ දක්වා ගෙවුණු වසර 13 තුළ පුද්ගලයන් 100 කට ආසන්න ප්‍රමාණයක් මාරක රිය අනතුරුවලින් මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මාරක රිය අනතුරුවලට බහුතරයක් හේතු වී ඇත්තේ රියදුරන්ට නින්ද යාම බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට මත්තලට කිලෝමීටර් 200 කි. අන්දර වැව සිට හම්බන්තොට කිලෝමීටර් 18 කි. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාවේ සිට කෙළවරපිටිය දක්වා කිලෝමීටර් 26 කි . කොළඹ – කටුනායක මාර්ගයේ පෑලියගොඩ සිට කටුනායක දක්වා කිලෝමීටර් 27 කි. මීරිගම කුරුණෑගල මාර්ගයේ මීරිගම සිට යක්කපිටිය දක්වා කිලෝමීටර් 40 කි. ඒ ආකාරයෙන් අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 411 කින්  සමන්විතය. නමුත් රියදුරන්ට විවේක ගැනීමට පහසුකම් ඇත්තේ වැලිපැන්න සේවා පියස පමණි.

අධිවේගී මාර්ගයක් ඉදි කිරීමේදී පවතින ජාත්‍යන්තර ප්‍රමිතිය වන්නේ කිලෝමීටර් 25 න් 25 ට කුඩා විවේක මධ්‍යස්ථාන ( ආපනශාලාවකින් සහ වැසිකිළි පද්ධතියකින් සමන්විත) තිබීමත් කිලෝමීටර් 50 න් 50 ට ( වැලිපැන්න සේවා පියස හා සමානව) ආපනශාලා , වැසිකිළි පද්ධති, ඉන්ධන හලකින් සමන්විතව කිරීමත් බව ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබෙන උසස් නිලධාරියෙක් පැවසීය.

කිලෝ මීටර් 50 න් 50 ට ඉන්ධන හලක් පිහිටීම අවශ්‍ය වන්නේ ඕනෑම වාහනයක ඉන්ධන ටැංකියේ ඉන්ධන අවසන් වීගෙන දක්වන රතු බල්බය දැල්වීමෙන් අනතුරුව ඊට ආසන්නව තිබෙන ඉන්ධන හලකට යාමට රියදුරුට අවශ්‍ය පහසුකම් සැලසීම බව එම නිලධාරියා කීය.

අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් සැලකිය යුතු මුදලක් අය කරගන්නවා සේම ඊට අවශ්‍ය පහසුකම් සැලසීම වගකිවයුතු බලධාරීන්ගේ යුතුකම බවද එම නිලධාරියා කීය.

මෙරට අධිවේගී මාර්ග පද්ධතිය ඊට ඉඳුරාම විරුද්ධ ආකාරයෙන් මිනිස් ජීවිත පිළිබඳ කිසිදු වගකීමක්, වගවීමක් නොමැති ආකාරයෙන් ඊට අවශ්‍ය අවම පහසුකම්වත් නොමැතිව ඉදිකිරීම හේතුවෙන් වසර දොළහක් වැනි කෙටි කාලයක් තුළදී ,නිරාපරාදේ වටිනා ජීවිත 100 ක් මරුවාට බිලිවිය.

සිදු වූ අනතුරුවලින් වැඩිම ජීවිත ප්‍රමාණයක් බිලිගෙන ඇත්තේ කොට්ටාව සහ මත්තල අතර ප්‍රදේශයෙනි. ඊට බහුතරයක් හේතුව අධික දුරක් ගමන් කිරීමේදී විවේක ගැනීම සඳහා වැලිපැන්න සේවා පියස පමණක් ස්ථාපිත කර තිබීම බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව රියදුරන්ගේ නොසැලකිලිමත්භාවයද යම් තරමකට අනතුරුවලට හේතු වී ඇති බව එම විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මීට දින කීපයකට ඉහතදී සිදුවූ රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම පොලිස් කොස්තාපල්වරයාගේ මාරක අනතුර මෙන්ම ඊට දින දෙකකට පසු සිදුවූ විදේශිකයාගේ මාරක අනතුර බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

අධිවේගී මාර්ගයේ බොහෝ ස්ථාන දැඩි අඳුරු ස්වභාවයද මෙම අනතුරට තවත් එක් හේතුවක් වී ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *