සිංහරාජය හරහා මාර්ග ඉදිකිරීමට අනුමැතියක් නැහැ – පරිසර අමාත්‍යාංශය
සිංහරාජ වනාන්තර රක්ෂිතය හරහා කිසිදු මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියකට පරිසර අමාත්‍යාංශය විසින් අනුමැතියක් හෝ සහයෝගයක් ලබා දී නොමැති බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මෑතකදී මාධ්‍ය වාර්තා මගින් සිංහරාජය හරහා මාර්ගයක් ඉදිකරන බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් මෙම පැහැදිලි කිරීම සිදු කර තිබෙනවා.
පරිසර අමාත්‍යාංශයට අනුව, රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ යෝජනාවක් සාකච්ඡා වී ඇති බවත්, එහි කොටසක් ලෙස යෝජිත මාර්ගය පිළිබඳ තක්සේරුවක් සඳහා දිස්ත්‍රික් කමිටු නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් අදාළ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කර ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත්, එවැනි මාර්ගයක් සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් හෝ අනුමැතියක් ඉල්ලා පරිසර අමාත්‍යාංශයට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව අමාත්‍යාංශය සහතික කරනවා. එපමණක් නොව, මෙම ස්වභාවයේ කිසිදු ඉදිකිරීමකට සහයෝගය හෝ අවසරය ලබා නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සිංහරාජ වනාන්තරය වැනි ආරක්ෂිත ප්‍රදේශ හරහා මාර්ග සංවර්ධන හෝ පුළුල් කිරීමේ කටයුතු සඳහා පරිසර අමාත්‍යාංශය කිසිසේත් අනුමැතියක් ලබා නොදෙන බවද අවධාරණය කර තිබෙනවා.