දානය ලැබෙන්නේ නැති පන්සල් ගැන ෆෙස්බුක් එකේ කියන කතා බොරු – බුද්ධශාසන අමාත්‍යාංශය කියයි

මෙරට ඇතැම් විහාරස්ථානවලට නිසි පරිදි දානය නොලැබෙන බවට ෆේස්බුක් හි පළවෙන බොහෝ තොරතුරු නිවැරදි නොවන බව, ඒ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.

රටපුරා ඇති එවැනි විහාරස්ථාන පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කරගැනීම අසීරු කාරණයක් වී ඇති බවත්, එලෙස නිසිපරිදි දානය නොලැබෙන විහාරස්ථාන ඇත්දැයි සොයා බලා කඩිනමින් තොරතුරු රැස් කරගන්නා ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බුවනෙක හේරත් පැවසීය.

දානය නොලැබෙන විහාරස්ථාන සම්බන්ධයෙන් තොරතුරු සෙවීම ආරම්භ කරන ලද්දේ, ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පසුගිය කාලයේ ෆේස්බුක් හි පළවූ තොරතුරු පදනම් කරගෙන වුවද, ඒ පිළිබඳව කරුණු සොයාගෙන යාමේදී ඒවා බොහොමයක් වැරදි තොරතුරු බව අනාවරණය වී ඇතැයි හෙතෙම කීය.

දිවයින පුරා පවතින, අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන විහාරස්ථාන පිළිබඳව තොරතුරු රැස් කරමින් පවතින බව, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. පී. රත්නායක පැවැසීය.

මෙම විහාරස්ථානවල තොරතුරු කඩිනමින් ලබාගැනීමෙන් අනතුරුව විහාරස්ථානවල කටයුතු සංවර්ධනය කිරීමටත්, ඒවාට නිසිපරිදි දානය ලැබෙන ආකාරයෙන් ක්‍රමවේදයක් සැකසීමටත් පියවරගන්නා බව බුවනෙක හේරත් කීය. ඒ සඳහා දානපතීන්ගේ සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *