නීත්‍යනුකූල නොවන සවි කිරීම් ඉවත් කිරීම මොනම හේතුවක් නිසාවත් නතර කරන්නේ නෑ – පොලිසිය කියයි

මොන බලපෑම් සහ බාධක පැමිණියත් ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දැනට ක්‍රියාත්මක රථවාහන මෙහෙයුම කිසිම හේතුවක් මත නොනවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා අවධාරණය කරයි.

මේ විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් දිනකට සිදුවූ 20ක් පමණ වූ රිය අනතුරු ප්‍රමාණය හතර පහක් දක්වා අඩු වූ බවත් මාරක රිය අනතුරු ගණන ද සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද පැවසීය.

දිනකට ආසන්න වශයෙන් බරපතළ තුවාල සිදු වීමේ රිය අනතුරු විස්සකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ අනුව පසුගිය වසර පහක කාලසීමාවේ බරපතළ තුවාල ලබා ආබාධිත තත්ත්වයට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව අනූදහසකට ආසන්නයි. එබැවින් රිය අනතුරු අවම කර ගැනීමට තමයි ශ්‍රී ලංකා පොලීසිය මේ රථවාහන මෙහෙයුම් ආරම්භ කළේ. මෙහිදී මූලික වශයෙන් මගී ප්‍රවාහන සේවා මඟින් සිදු වන රථවාහන වැරැදි අවම කර ගැනීමට උත්සාහ දැරුවා. ඒ අනුව එම රථවල සවි කර ඇති අමතර විදුලි පහන් විශේෂයෙන් ඉදිරිපස සවි කර ඇති ඉතා විශාල ආලෝකයක් ඇති විදුලි පහන් මඟින් ඉදිරියේ ගමන් කරන වාහනවලට බාධා ඇති කරනවා. ඊට අමතරව වාහනවල විවිධ ආකාරයේ සවි කිරීම් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඉදිරිපස දර්ශනයට බාධා ඇති කරනවා. එබැවින් නීති විරෝධී සවිකිරීම් ඉවත් කිරීමට අපගේ අවධානය යොමු වුණා.

පළමු සති දෙකක කාලසීමාවේ නීති විරෝධී සවි කිරීම් කර ඇති රථවාහනවලට දඩ පත්‍රිකා නිකුත් කිරීමක් හෝ අධිකරණය ඉදිරියේ නඩු පැවරීමක් කරන්නේ නැහැ. ඔවුන්ට මෙවැනි නීති විරෝධී සවි කිරීම් ඉවත් කිරීමට දැනුම්වත් කිරීමක් තමයි අපි මුලින්ම කරන්නේ. ඔවුන්ට පුළුවන් එම නීති විරෝධී සවි කිරීම් ඉවත් කර පෙර පරිදි ධාවනය කිරීමට.

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් මගී ප්‍රවාහන බස් රථවලට යොමු කර එම රියැදුරන් විසින් සිදු කරන රථ වාහන වැරැදි නිරීක්ෂණය කර ඉන් අනතුරුව ඔවුන් දැනුම්වත් කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම. මේ ක්‍රියාවලිය මුළුමනින්ම නීතියට අනුකූලයි.

අප විසින් මේ සියලු දේ කරන්නේ ජනතාවගේ ආරක්ෂාවටයි. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටයි. මේ මෙහෙයුම ආරම්භ වූ පසු දිනකට රිය අනතුරු වාර්තා වීම දිනකට හතරක් හෝ පහක් දක්වා අඩු වුණා. බරපතළ තුවාල ලබන රිය අනතුරු වාර්තා වීම අටක් දහයක් දක්වා අඩු වුණා. මේ මෙහෙයුම මඟින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම කියන අරමුණ අපට ළඟා කර ගන්න හැකි වුණා. ඒ නිසා අපි මගී ප්‍රවාහන රියැදුරන් අනිකුත් රථවාහන රියැදුරන් සහ හිමිකරුවන් මේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ රථයේ තිබෙන සියලුම නීත්‍යනුකූල නොවන සවි කිරීම් සියල්ලම ඉවත් කරන්න. අප මේ ගෙන යන රිය අනතුරු අවම කර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළට උපරිම සහයෝගය දෙන්න. එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරන මේ රථවාහන මෙහෙයුම් නැවැත්වීමට යම් යම් කණ්ඩායම් කුමන බලපෑම් කළත් මේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියටත් කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *