ප්‍රමිතියෙන් තොර, අටපිරිකරෙනුත් ගසා කයි – පාරිභෝගික අධිකාරිය රටම පීරයි – ලක්ෂ 11ක බඩුත් අල්ලයි

නිසි ප්‍රමිතියෙන් තොර අටපිරිකර හා පිරිකර අලෙවි කරන වෙළෙඳ ආයතන ඉලක්ක කර මෙම වසරේ මේ දක්වා සිදුකළ වැටලීම් 127කදී රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමින් යුත් ප්‍රමිතියෙන් තොර අටපිරිකර හා පිරිකර ඇතුළු භාණ්ඩ 436ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම විශේෂ වැටලීම්වලදී අටපිරිකර, තනිපට සිවුරු, අඳනකඩ, බඳ පටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම ප්‍රධාන වශයෙන්ම අනාවරණය වූ බව එම අධිකාරිය කියයි.

එලෙස සිදුකළ පරීක්ෂාවලදී ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස්වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැළී ගිය පාත්‍ර සහ මළ බැඳුණු නූල් බෝල, පෙරහන්කඩ, ඉඳිකටු, දැලි පිහි ඇතුළත් කර තිබූ බව ද එම අධිකාරිය කියයි.

මෙම වැටලීම්වලදී නීති උල්ලංඝනය කළ සිවුරු, අටපිරිකර, අඳනකඩ, බඳ පටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර ඇතුළු භාණ්ඩ 436ක් එම අධිකාරියේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

පිටත ඇසුරුම නිරීක්ෂණය කිරීමෙන් පමණක් මෙවැනි අක්‍රමිකතා පහසුවෙන් හඳුනාගත නොහැකි බැවින්, විශේෂයෙන් ආගමික අවශ්‍යතා සඳහා සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳව ද සැලකිලිමත් වන ලෙස එම අධිකාරිය ඉල්ලා සිටියි.

අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධ නීති උල්ලංඝනයන් හෝ අක්‍රමිකතාවන් පිළිබඳ තොරතුරු ඇත්නම් 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටී.

කොළඹ මරදාන ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොර අටපිරිකර, සිවුරු අලෙවි කරන වෙළෙඳසලක් වටලා එම අටපිරිකර හා සිවුරු පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ වෙළෙඳසල්වලට ඒ ඒ මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පවරන බව ද අධිකාරිය කියයි.

මෙහිදී හමුවූ සිවුරු නියමිත දිග ප්‍රමාණයට නොතිබූ බවත්, ස්වාමීන් වහන්සේලාට ඒවා ඇඳීමට පවා නොහැකි බවත් අධිකාරිය කියයි.

මේ අතර මරදාන වෙළෙඳසල්වලට බෙදාහැරීමට ලොරි රථයකින් රැගෙන විත් තිබූ ප්‍රමිතියෙන් තොර අටපිරිකර තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *