පොස්පේට් සැපයුම් නිලධාරී හිටපු ඇමැති චාමරගෙන් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩු දමයි

එප්පාවල පොස්පේට් සමාගම් පරිශ්‍රය තුළ පසුගිය වසරේ (2023/07/17) නිරීක්ෂණ චාරිකාවකදී එවකට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක විසින් එප්පාවල පොස්පේට් සමාගමෙහි සැපයුම් නිලධාරී ලෙස කටයුතු කළ එස්.ඒ. අබේසිරි නමැති අයට අමාත්‍යවරයාගේ හිතවත් සේවකයෙකු ලවා පහර දී තර්ජනය කර අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නිලධාරියා විසින් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබේ.

එහිදී හිටපු අමාත්‍යවරයා විසින් මෙම නිලධාරියාව සේවයෙන් නෙරපා හරින ලෙස නියෝග කර ඇති අතර එම සිද්ධිය මුද්‍රිත, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරමින් ඔහුව අනීතික ලෙස වැඩ තහනමට ලක් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇත. වැඩ තහනමට ලක් වූ මෙම සැපයුම් නිලධාරී එස්.ඒ. අබේසිරි යන අය විසින් එකී පහරදීම, තර්ජනය කිරීම, සැලසුම් සහගතව අසත්‍ය චෝදනා කර ප්‍රසිද්ධ මාධ්‍යයන් ඉදිරියේ ප්‍රකාශ කරමින් ආයතනයේ සේවයකන් හා නිලධාරීන් ඉදිරියේ පරිභව කිරීමෙන් රජයේ විධායක නිලධාරියෙකු වශයෙන් ඔහුගේ කීර්ති නාමයට සිදු කළ අපහාසය සහ මෙම සිදුවීම් මාලාව සියළු ප්‍රසිද්ධ මුද්‍රිත සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම හරහා ඔහුට සිදු කළ අපහාසය සහ සිය ප්‍රතිරූපයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලමින් ඔහු මෙලෙස අත්තනගල්ල දිසා අධිකරණයේ වන්දි නඩුව පවරා තිබේ.

ඒ අනුව අත්තනගල්ල දිසා අධිකරණය පසුගිය 29දා මෙම නඩුව කැඳවා ඇති අතර එයට හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද තම නීතිඥවරුන් මඟින් අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, එලැඹෙන ජනවාරී මස 15 වැනි දින වගඋත්තරකාර හිටපු අමාත්‍යය චාමර සම්පත් දසානායක මහතාට පෙනී සිට කරුණු දක්වන ලෙසත් අත්නගල්ල දිසා විනිසුරුවරයා නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *