ලංකාවේ පුද්ගලයන් සිව්දෙනකුගෙන් එක් අයෙක් බඩගින්නේ – ජී.ඇල් පිරීස් කියයි

සානුකම්පිතව අපේ රටේ සුබසාධන කටයුතු ගැන සොයාබලා ඒ සඳහා විශේෂ උනන්දුවක් අවධානයක් දක්වන්න යුතුකමක් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ පෙරේදා (18 දා) පැවති මාධ්‍ය හමුවට එක්වfමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ලෝක බැංකුව අද දරිද්‍රතාවයේ මට්ටම 24.5% බව කියනවා. ඒ කියන්නේ හතරෙන් එකක් බඩගින්නේ. හතර දෙනෙක් ජීවත් වෙනවා නම් අපේ රටේ එක්කෙනෙකු දිළිඳු තැනකට වැටෙනවා. ඉතාමත් ඉක්මනින් ඒක තුනෙන් එක දක්වා වැඩි වෙනවා යැයි ලෝක බැංකුව කියනවා. ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි, අපේ රටේ ඇතිවෙන්නේ.

ජනතාවගේ සුභසාධනය ගැන අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිව්වා, ඔබතුමන්ලා බැංකුවක් පමණක් නෙවෙයි. අනිවාර්යයෙන්ම සානුකම්පිත විදිහට අපේ රටේ සුභසාධන කටයුතු ගැන හොයා බලා ඒවට විශේෂ උනන්දුවක්, අවධානයක් දක්වන්න යුතුකමක් තිබෙන බව අප පෙන්වා දුන්නා.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටට මූල්‍ය සම්බන්ධව උදව් වෙනවා, ඒක අපට අවශ්‍යයි. අප කියන්නේ මේකෙන් අස්වෙන්න කියා නොවෙයි, අපට ඒක ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි, අවශ්‍ය කොන්දේසිත් තිබෙනවා. මේවා පරිත්‍යාග නොවෙයි, මේවා ණය මුදල්. මේ ණය ආපහු ගෙවන්න ඕනෑ. කවුද ආපහු ගෙවන්නේ? අපේ රටේ ජනතාවයි. පොලිය සමඟයි. 5%, 6% අතර පොලියක් සමඟ තමයි මේ මූල්‍ය අරමුදලෙන් ගන්නා සම්පත් ආපහු ගෙවන්න අපේ ජනතාවට සිදුවන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි හැඟීමක් තිබෙනවා, ලබාදෙන මුදල් නිසි අරමුණ සඳහා පාවිච්චි විය යුතුයි. ඒ කියන්නේ ජනතාවට සෙතක් සැලසෙන කටයුතුයි. මහා පරිමාණයේ මගඩි, වංචා, දූෂණ, නාස්ති මේවට ඉඩ තියන්න බැහැ. ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සිද්ධියට එක්කෙනෙකු සම්බන්ධ දෙයක් නෙවෙයි, ඒක භාණ්ඩාගාරයෙන් ඔස්ටේ්‍රලියාවේ ව්‍යාජ බැංකු ගිණුමකට ආපු මුදලයි. ඒ වගේම ගල් අඟුරු වංචාව, ඒක එක සැරයක් නොවේ 77 සැරයක් වෙලා තියෙනවා. අපේ රටට මිලදී ගත්තා, ගුණාත්මකභාවයෙන් අඩු ගල්අඟුරු. ඒ නිසා විදුලි බලය නිෂ්පාදනය සඳහා ඩීසල් පාවිච්චි කරන්න සිදුවුණා. ඩීසල්වලට විශේෂ වුවමනාවක් තිබුණා, නැතිනම් ලයිට් කපන්න සිද්ධ වෙනවා. එවිට ඕනෑම මිලකට ඩිසල් ලබා ගැනීමට සිදුවුණා. ලෝක වෙළෙඳපොළේ ඩීසල්වල මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 135ත් 150ත් අතර තිබෙන අවස්ථාවලදී ශ්‍රී ලංකාව ඇ. ඩොලර් 286ක් ගෙවන්න ක්‍රියා කළා. මේ කාගේ සල්ලිද? මේ අපේ රටේ ජනතාවගේ සල්ලියි.

ඒක විතරක් නොවෙයි, මේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිවක් නොදැක්කා වගේ ඉන්න පුළුවන්කමක් නැහැ. මේවා ගැන හොයන්න ඕනෑ. මේවා නැවැත්වීමට ඒගොල්ලෝ යම්කිසි උනන්දුවක් දක්වන්න ඕනෑ. ඒක විතරක් නොවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අප සංදේශයක් භාරදුන්නා. එහි තව උදාහරණ නවයක් විතර තිබෙනවා අක්‍රමිකතා ගැන. ආපහු මේ සියලුම අලාභය ගෙවන්න සිදුවන්නේ මේ රටේ ජනතාවටයි. ඒ හින්දා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිව්වේ, මුදල් දීම හොඳයි, ඒක අවශ්‍යයි. රජයට මේ මුදල් ලබා දෙනවා නොවෙයි, ඒ සඳහා යම්කිසි අධීක්ෂණයක් තියෙන්න ඕනෑ. ඒ අධීක්ෂණය අනුව ජනතාවට හිතකර දේවල් සම්බන්ධයෙන් පමණක් ඒ මුදල් පාවිච්චි වෙනවාද කියන එක මීට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ උනන්දුවක් දක්වන්න ඕනෑ.

අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කරන ගිවිසුමේ අරමුණ ජනතාවට සෙත සැලසීම සහ ජන ජීවිතය වඩා ශක්තිමත් කිරීමයි. ඒක තමයි ප්‍රමුඛ අරමුණ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් නිකන් බැංකුවක් හැටියටම වැඩකටයුතු කර ණය මුදල් දෙනවා, ඊට පස්සේ පොලියත් එක්ක ආපහු අය කර ගන්නවා, ඒ වගේ ආකාරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අපේ රටේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝකය කියන්නෙත් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද අදහස් දැක්වීය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නීතීඥ නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *