ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකළ සෑම අධිවේගී මාර්ගයක්ම කුමන හෝ විදේශීය ණය මුදලක් ලබා ගනිමින් ඉදිකර ඇති නමුත්, තම රජය යටතේ කිසිදු ණය මුදලක් ලබා නොගෙන දේශීය අරමුදල්වලින් පමණක් අධිවේගී මාර්ග ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ රජයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
“අපේ රටේ හැම අධිවේගී මාර්ගයක්ම හැදුණේ කොහෙන් හරි ණයක් අරගෙන. හැබැයි අපි පටන් ගත්තා රඹුක්කන – ගලගෙදර අධිවේගී මාර්ගය… සතයක් ණය ගන්නේ නැතුව ආණ්ඩුවේ දේශීය අරමුදල්වලින් තමයි අපි ඒක හදන්නේ.”
එමෙන්ම කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද එළඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවත්, එය ද සතයක හෝ ණය මුදලක් ලබා නොගෙන රජයේ භාණ්ඩාගාර මුදල්වලින්ම පමණක් ඉදිකර අවසන් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.