මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින්, වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් සහ රිමාන්ඩ් භාරයේ පසුවන්නන් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව රජය විසින් පවත්වන ලද අභ්‍යන්තර සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
දැනට මෙරට බන්ධනාගාරවල වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් 1,000කට අධික පිරිසක් සිටින බව නිරීක්ෂණය වී ඇති අතර, මිනීමැරුම් වැනි බරපතළ අපරාධවලට සම්බන්ධ නොවූ වයෝවෘද්ධ සිරකරුවන් මෙලෙස නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
මීට අමතරව, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ පුද්ගලයන්ගේ රස පරීක්ෂක වාර්තා ලැබීමේ පවතින දැඩි ප්‍රමාදය ද බන්ධනාගාර තදබදය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඇතැම් පුද්ගලයන් සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වසර එකහමාරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින දැඩි නිලධාරී හිඟය මීට හේතුව බවත් අනාවරණය වී ඇත.