22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සංවාදයෙන් නීතිඥවරුන් කොටස් දෙකකට බෙදුණු බවක් පේනවා. ඔබත් නීතිඥවරයෙක්. ඇයි එක මතයකට එන්න බැරි…?
මේ ආණ්ඩුව ගේන මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි මේක. ඒ වගේම මේක අධිකරණ ක්ෂේත්රයට ඍජුව අදාළයි. ඒකත් එක්ක නීතිඥවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ ලොකු අවධානයක් මේකට යොමු වෙලා තියෙනවා.
මම පෞද්ගලිකව විශ්වාස කරනවා, මෙවැනි අවස්ථාවක මේ වගේ බෙදීමක් ඇති කරගන්න එක නරකයි කියලා. විශේෂයෙන්ම අධිකරණවල දිනපතා නඩුවලට සම්බන්ධ වන නීතිඥවරයකු වශයෙන් මම මේ සම්බන්ධයෙන් කම්පනයට පත් වෙනවා. මේ බෙදීම ඒ කටයුතුවලටත් බලපාන්න පුළුවන්. අපි දැක්කා, 20 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවෙ මෙහෙම එකක් තිබුණෙ නෑ. ඒකත් ඍජුවම අධිකරණයට අදාළ කරුණක්. නීතිඥ සංගමය මැදිහත් වුණෙත් නෑ. මේක කාටත් හොඳ නෑ.
=ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඉලක්කය එක පුද්ගලයකු ආරක්ෂා කරන එක ද, එහෙම නම් ඒක බරපතළ තත්ත්වයක්…
එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මේක කරනවා නම්, අපිට තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයාගේ විශ්‍රාම වයස විතරක් ඉහළ දාන්න. කියන්නෙ එහෙමනෙ. ප්‍රංසයෙ එහෙම කරලා තියෙනවා. ප්‍රංසයේ අනෙක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු හැට හතක් වුණාට, අගවිනිසුරුවරයාගේ වයස අවුරුදු 68ක් කරලා තියෙනවා. දකුණු අප්රිකාවෙත් එහෙමයි. මේ සංශෝධනය ඉහළ සිට පහළට විනිසුරුවරුන්ට අදාළ වෙනවා. ඒ අනුව මෙතෙක් තිබුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමාව අවුරුදු 67ක් වෙනවා. ඒක මීට පෙර තිබුණෙ අවුරුදු 65 සීමාවෙ.
ඒ වගේම තවත් විශේෂ තත්ත්වයක් මෙතැන තියෙනවා. ඒ තමයි, අගවිනිසුරුවරයාට වසර හයකට වඩා ධුරයේ ඉන්න බෑ. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාවත් මේකෙන් 25 දක්වා වැඩි වෙනවා. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65ක් වෙනවා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 61 සිට 63 දක්වා වැඩි වෙනවා. මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව 60 සිට 61 දක්වා වැඩි වෙනවා.
ඒ කියන්නෙ මේක එක පුද්ගලයකු ඉලක්ක කරගෙන කරන වැඩක් නෙමෙයි, මේක සමස්ත අධිකරණ ක්ෂේත්රයට අදාළ එකක්. එක කොටසකට විතරක් මේ වයස් සීමාව වැඩි කළොත්, ඒක ගැටලුවක් වෙනවා. ඇත්තටම මේක කරන්න තිබුණෙ 20 වැනි සංශෝධනයෙන්.
=ඇයි මේක මේ වෙලාවෙම කරන්නෙ කියන ප්‍රශ්නයට මොකක්ද දෙන්න තියෙන උත්තරය…?
ඒ ප්‍රශ්නය අහන අයගෙන් මම අහන්නෙ: ඇයි මේක මේ අවස්ථාවෙ නොකරන්නෙ? එහෙම නම් මේ අවස්ථාවෙ ඉන්න විනිසුරුවරුන්ගේ ප්‍රශ්නයක් තියෙන්න ඕනෑ, ඒක නිසා ඒගොල්ලො ඉවත් වුණාට පස්සෙ කරන්න කියන අදහසයි ඒගොල්ලො කියන්නෙ. ඒත් මේ විනිසුරුවරුන්ගේ ගැටලුවක් කවුරුවත් නිශ්චිතව කියන්නෙ නෑ.
=ඇත්තටම මේකෙන් කොහොමද නඩු ප්‍රමාදය වළක්වාගන්නෙ…?
උදාහරණයක් ගත්තොත් මහාධිකරණයෙන්: පැමිණිල්ලේ නඩුව අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා විනිසුරුතුමා විශ්‍රාම ගියොත් ගැටලු මතු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල නඩුව විභාග කරපු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙ සභාපති විනිසුරු හිටියෙ රුවන් පතිරණ විනිසුරුතුමා. එතුමා විශ්‍රාම ගියා. එතැන්ට ආවෙ රෂාන්ත ගොඩවෙල විනිසුරුතුමා.
2004 අවුරුද්දෙ උඩතලවින්න නඩුවෙදි එතැන හිටපු සභාපති විනිසුරු බස්නායක විනිසුරුතුමාට උසස්වීමක් දුන්නා, අභියාචනාධිකරණයට. මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩුවට අදාළවත් මේ වගේ තත්ත්වයක් වුණා.
සමහර විට විත්තියේ නීතිඥතුමන්ලා නැවත සාක්ෂි කැඳවන්න කියන්න පුළුවන්. විවිධ හේතු මතු වෙන්න පුළුවන්. විශේෂයෙන් සිවිල් සාක්ෂි යන අතරතුර මේ විදිහට විනිසුරුතුමන්ලා මාරුවීමක් ඒ සාක්ෂියට බලපාන්න පුළුවන්.
මොකද ඒ සාක්ෂි දෙන ආකාරය වෙනස්වෙන්න පුළුවන්. ලෝකයේ තත්ත්වයත් එහෙමයි. මේ වගේ තත්ත්වයන් එක්ක නඩුවකදි කිසිවකුට අසාධාරණයක් නොවෙන විදිහට, ඉක්මනින් මේ කටයුතු සිදු වෙන්න අවශ්‍ය පියවර මේ හරහා ගැනෙනවා.
=ඔබ කිවුවා ලෝකයේ තත්ත්වයත් මෙහෙමයි කියලා. ඒකත් පැහැදිලි කරගනිමු…
ලෝකයේ වෙනත් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගෙවී ගිය කාලය තුළ ඉහළ දාලා තියෙනවා. ඔස්ට්‍රේලියාව 70යි. කැනඩාව 75යි. බ්‍රසීලය 75යි. ඩෙන්මාර්කය 73යි. අමෙරිකාව වයස් සීමාවක් හඳුන්වා දීලා නැහැ. අයිස්ලන්තයෙ 70යි. ජපානයෙ 70යි. ස්වීඩනයෙ 69යි. ස්විට්සර්ලන්තයෙ 68යි. මේ ආදි වශයෙන් ලෝකය පුරා ප්‍රවණතාවක් පවතිනවා.
ලෝකයේ සිටි වයස්ගතම විනිශ්චයකාරවරයා වශයෙන් හඳුන්වන අමෙරිකානු ජාතික බොලිවර් වෙන්ඩර්හෝම් අත්දැකීම් සහිත විනිශ්චයකාරවරුන් තවදුරටත් සේවයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මත වයස් සීමාව ඉහළ මට්ටමක පැවතිය යුතු බව කියලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 75ක් ලෙස පනවන්නෙ 1959දියි. ඊට පෙර සීමාවක් තිබුණෙ නැහැ. එහෙත් 1993දි ඒක නැවත 70 දක්වා පහත දමනවා. නැවත අවුරුදු 27කට පස්සෙ 2022 වර්ෂයේ මාර්තු මාසයෙදි 75 දක්වා වැඩි කරනවා. මේ වැඩි කිරීමට සුවිශේෂව මැදිහත් වුණු රොබට් බුක්ලන්ඩ් කියන නීති විශාරදයා කරුණු පැහැදිලි කළා. ඔහු කිවුවෙ අපේ විනිශ්චයකාරවරුන්ගේ සහ මහේස්ත්රාත්වරුන්ගේ සහ මරණ පරීක්ෂකවරුන්ගේ සේවය විශිෂ්ටත්වය, ප්‍රවීණත්වය සහ ස්වාධීනත්වය ගැන ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔවුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම මඟින් වටිනා අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න නිසා බවයි.
දකුණු අප්‍රිකාවේ වයස් සීමාවක් පනවා තිබුණේ නැහැ. 1989දි අවුරුදු 70ක සීමාව පනවනවා, ඒ වගේම උපරිම ධුර කාලය අවුරුදු 12ක කාල සීමාවකුත් පනවනවා. තවත් පැත්තකින් අවුරුදු 70 වන විට උපරිම ධුර කාලය අවුරුදු 12 සම්පූර්ණ කර නොතිබුණොත් අවුරුදු 75ක් දක්වා සිටීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ප්‍රංසයේ ප්‍රාන්ස්වා මිතරෝන් ජනාධිපතිවරයා 1982දි රජයේ සේවයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට 60 දක්වා අඩු කළත්, අධිකරණ විනිසුරුවැන්ගේ වයස් සීමාව වෙනස් කළේ නැහැ. 2010දි අවුරුදු 67 දක්වා දීර්ඝ කළා. ඒත් ඉන් පසුව ප්‍රධාන විනිශ්චයකාරවරයාගේ වයස අවුරුදු 68 දක්වා ඉහළ දැම්මා. මම මේ උදාහරණ කිවුවෙ ලෝකයේ අනෙක් රටවල අත්දැකීම් අනුව යමින් ලංකාව මේ නැඹුරුව ගන්න දැනටමත් ප්‍රමාද වී තිබෙන බව කියන්නයි.
ඇයි මේ අධිකරණවල තියෙන පුරප්පාඩු පුරවන්නෙ නැත්තෙ…?
පහළ අධිකරණවල, ඒ කියන්නෙ මහේස්ත්‍රාත්, දිසා අධිකරණවල දැනටත් 65ක විතර පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒක පුරවන්න අයදුම්පත් කැඳෙව්වම, එක්දාස් ගාණක් අයදුම්පත් ලැබිලා තියෙනවා. අවසානයේ ඒ අයදුම්පත්වලින් ගන්න පුළුවන් වෙලා තිබුණෙ 33ක් විතරයි. ඒ කියන්නෙ සුදුසුකම් ප්‍රශ්න තිබිලා තියෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවත් මේක කියලා තිබුණා. ඉහළ අධිකරණවල පුරප්පාඩු පුරවන්න වෙන්නෙ කොහොමද. පහළ අධිකරණවලින්. ඒක කරන්න ගියහම පහළ අධිකරණවල තවත් පුරප්පාඩු වෙනවා. නීතිඥ සංගමයේ සභාපතිතුමා කියලා තිබුණා, නඩු ලක්ෂ 11ක වගේ ප්‍රමාණයකින් නඩු ලක්ෂ අටකට වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ පහළ අධිකරණවල කියලා. එතකොට පහළ අධිකරණ විනිසුරුවරුන් තවත් පුරප්පාඩු වුණොත් මොකද වෙන්නෙ. ඒක නිසා මේක පිළිවෙළට කරන එකයි කරන්න ඕනෙ. ඒ පිළිවෙළට මාසයක් – එක හමාරක් ඇතුළත ඒ පුරප්පාඩු සියල්ල පුරවයි.
යුක්තිය පසිඳලීම පිටින් දාලා, ආණ්ඩුව වෙනත් දේශපාලන ගේම් එකක් ප්ලේ කරන බවටත් චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තටම ඇයි ජන මත විචාරණයකට යන්න බැරි…?
මේක දේශපාලන ගේම් එකක් කරගෙන තියෙන්නෙ විපක්ෂය. විපක්ෂයේ ඔක්කොම එකතු වෙලා, ඇප පිට – සැක පිට ඉන්න ඔක්කොම එකතු වෙලා මේවා ගැන සාකච්ඡා කරගෙන, දේශපාලනික කරගෙන තියෙන්නෙ ඒගොල්ලො. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 107 ව්‍යවස්ථාව තමයි මෙතැනදි සංශෝධනය කරන්නෙ. 83 ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනවා, ජන මත විචාරණයකට යන්න අවශ්‍ය සංශෝධන මොනවද කියලා. 107 ඒ අතර නෑ. ඒක නිසා ව්‍යවස්ථානුකූලව මෙතැනට ජන මත විචාරණයක් අදාළ නෑ. මේ අය උත්සාහ කරන්නෙ ජනතා පරමාධිපත්‍යය පිළිබඳ කාරණා ඉස්මතු කරන්න. මේ තර්කය අධිකරණයෙදි ගොඩනඟන්න පුළුවන්. මෙතැන කිසිම රහසක් නෑ නෙ. සියල්ල විවෘතව සිදු වෙනවා. අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාදායකයටත් පරමාධිපත්‍යයක් තියෙනව නෙ. ව්‍යවස්ථාදායකය සතු අධිකරණ බලය අධිකරණය හරහා ක්‍රියාත්මක කරනවා. යුක්තිය ඉටු කිරීම තමයි මූලික අරමුණ. එතැනට යන්න අවශ්‍යයි. ජනතාව බහුතර බලයක් මේ ආණ්ඩුවට දුන්නු එක ප්‍රධාන හේතුවක් ඒක. ඇප පිට – සැක පිට ඉන්න කට්ටිය කලබල වුණාට, බහුතර ජනතාව මේකට කැමැතියි.
ශාලික විමලසේන ( Silumina)