කබ්‍රාල්ගේ ග්‍රීක බැදුම්ක​ර නඩු විභාගය ජූලි 20 දා අරඹන්නැයි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග

රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකළ බව කියන ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ජුලි 13දා ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව විරෝධතා හේතුවෙන් කල් තබා තිබූ මෙම නඩුවේ පූර්ණ විභාගය ලබන ජූලි මස 20 වැනිදා ආරම්භ කිරීමට අධිකරණය නියම කළේය.

මනෝජ් තල්ගොඩපිටිය (සභාපති), උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීරණය ලෙසින් සභාපති විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

2011 වසරේ මාර්තු 11 සහ 2012 වසරේ නොවැම්බර් 19 යන කාල වකවානුව තුළ, ග්‍රීසියේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටී තිබියදීත් එරට දැඩි අවදානම් සහගත බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයේ මුදල් ආයෝජනය කිරීම හරහා රුපියල් 1,843,267,595.60 ක (රු. කෝටි 184කට අධික) දැවැන්ත පාඩුවක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

මීට පෙර අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම නඩු පවරා තිබූ අතර, එහිදී රජයට වූ පාඩුව මාස තුනක් ඇතුළත ගෙවා පියවන ලෙසට ලබාදී තිබූ කොන්දේසිය විත්තිකරු විසින් ඉටු නොකිරීම හේතුවෙන් නව දූෂණ විරෝධී පනත යටතේ මෙම නව අධිචෝදනා පත්‍රය ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබිණි.

මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පවසමින් විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විසින් පසුගිය ජුනි 30 වැනිදා අධිකරණය හමුවේ මූලික විරෝධතා මාලාවක් මතු කර තිබුණි. 13 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණේ එදින දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ වාචික හා ලිඛිත දේශන සලකා බැලීමෙන් අනතුරුව ලබාදුන් තීන්දුවයි.

පසුගිය ජුනි 30 දා පැවති විභාගයේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රධාන නීතිමය තර්ක කිහිපයක් ගෙනහැර දැක්වීය. ඉන් ප්‍රධානතම තර්කය වූයේ නීතියේ අතීතයට බලපැවැත්වීමේ හැකියාව (Retrospective Effect) පිළිබඳ ගැටලුවයි.

මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ 2011-2012 වසරවල වුවද, මෙම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවනු ලැබුවේ 2018 අංක 9 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතින් බවත්, එබැවින් 2018ට පෙර සිදුවූ වරදක් විභාග කිරීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. සාමාන්‍ය නීති මූලධර්මවලට අනුව නීතියක් අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා ව්‍යවස්ථාදායකයේ පැහැදිලි අභිලාෂයක් තිබිය යුතු බව තර්ක කළ විත්තිය, ඒ සඳහා 1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නඩුව පූර්වාදර්ශ ලෙස අධිකරණයට ඉදිරිපත් කළේය.

සාමාන්‍ය මහාධිකරණයකදී විත්තිකරුවකුට හිමිවන අභියාචනා කිරීමේ අයිතිය වැනි මූලික අයිතිවාසිකම් මෙම විශේෂ අධිකරණය හමුවේදී උල්ලංඝනය වන බව විත්තියේ දෙවන තර්කය විය. මෙය නඩු අසන ආකාරය වෙනස් වීමක් හෙවත් හුදු කාර්ය පටිපාටික වෙනසක් (Procedural Change) පමණක් නොව, විත්තිකරුගේ නීතිමය අයිතිවාසිකම්වලට සෘජුවම බලපාන හරයාත්මක නීතියේ වෙනසක් (Substantive Law Change) බව ඔවුහු පැහැදිලි කළහ. ඊට අමතරව, 1994 අංක 19 දරන පනත යටතේ මීට පෙර මහාධිකරණය ඉදිරියේ පවරා තිබූ HCB 271/24 සහ HCB 33/24 යන නඩුවල අඩංගු වූ චෝදනා සහ මෙම නඩුවේ චෝදනා සමාන බැවින්, අවසන් වූ නඩු කටයුත්තක චෝදනා මත යළි නඩුවක් පවත්වාගෙන යෑම නීති විරෝධී බවද, නව දූෂණ විරෝධී පනතේ 161 වැනි වගන්තිය අනුව අධිචෝදනා පත්‍රයක් අභියෝගයට ලක් කරන්නේ නම් එය කළ යුත්තේ මහාධිකරණය හමුවේ නොව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බවද විත්තිය වැඩිදුරටත් අවධාරණය කළේය.

විත්තියේ එම තර්කවලට පසුගිය ජුනි 30 දා මෙන්ම ලිඛිතවද පිළිතුරු දුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය ප්‍රකාරව අතීතයට බලපාන පරිදි නීති පැනවීමට පාර්ලිමේන්තුවට පූර්ණ බලයක් පවතින බව පෙන්වා දුන්නාය. එසේම, 2018 අංක 9 දරන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවරීම හුදු පරිපාලනමය ක්‍රියාවක් පමණක් බව ඇය කියා සිටියාය. මෙම සංශෝධනය හරහා සිදුව ඇත්තේ නඩුව විභාග කරන ස්ථානය සාමාන්‍ය මහාධිකරණයේ සිට ත්‍රිපුද්ගල මහාධිකරණය දක්වා වෙනස් වීමක් පමණක් බැවින්, එය විත්තිකරුගේ අයිතිවාසිකම්වලට අගතියක් වන හරයාත්මක වෙනසක් නොවන බවත්, හුදු කාර්ය පටිපාටික වෙනසක් පමණක් බවත් ඇය නීතිමය කරුණු සහිතව පැහැදිලි කළාය.

විත්තිකරුට අගතියක් සිදු නොවන පරිදි, ත්‍රිපුද්ගල මහාධිකරණයේ තීන්දුවකට එරෙහිව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අභියාචනා කිරීමේ අවස්ථාව පවතින බවද පැමිණිල්ලෙන් පෙන්වා දෙනු ලැබිණි.

ඉදිරිපත් වූ මෙම සියලු කරුණු සහ නීතිමය තර්ක ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේ, 2018 අංක 9 දරන පනත මගින් පවතින හරයාත්මක නීතියේ කිසිදු අයිතියක් විත්තිකරුට අහිමි වී නොමැති බවයි. එය හුදු කාර්ය පටිපාටික නීතියක් පමණක් වන බව නිරීක්ෂණය කළ අධිකරණය, අගතියට පත්වන පාර්ශ්වයකට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය නීතියෙන් සුරක්ෂිත වී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අවසානාත්මක වන බවත් සඳහන් කළේය. ඒ අනුව විත්ති පාර්ශ්වය මතු කළ මූලික විරෝධතාවල නීතිමය පදනමක් නොමැති බව තීරණය කළ අධිකරණය ඒවා නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස විදේශ කටයුතු ඇමැති විජිත හේරත් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ යන මහත්වරුන් ඇතුළු 38 දෙනකු නම් කර තිබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය සමඟ කමණි ද සිල්වා, ගජලක්ෂ්මි සිවසුබ්‍රමනියම් සහ ගයා රාජපක්ෂ යන නීතිඥවරියන් පැමිණිල්ල මෙහෙයවනු ලබයි. විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ නීතිඥවරුන් වන ඔර්නෙලා සිල්වා, අමිල දිසානායක, නිශ්ශංක පීරිස් සහ මුදිත ලොකුහෙට්ටි යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *