වයස අවුරුදු නවයක පමණ බාල වයස්කාර පාසල් සිසුවකු අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා දෙකක් ලබා සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු එකී අධි චෝදනා දෙකටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර හතළිහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.
එක් අධි චෝදනාවකට වසර විස්ස බැගින් මෙම හතළිස් වසරක සිර දඬුවම නියම කෙරුණා.
නියම කළ හතළිස් වසරක සිර දඬුවම වසර විස්සක් තුළදී එකවර ගෙවී යා යුතු බවටද තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරු දර්ශකා විමල සිරි මෙනවිය පැමිණිලිකාර වින්දිත දරුවාට රුපියල් ලක්ෂ පහක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසටද විත්තිකාර හිටපු පොලිස් කොස්තාපල්වරයාට තවදුරටත් නියම කරනු ලැබුවාය.
එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකරුට තවත් දෙවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය ඊට ද අමතරව රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කරනු ලැබුවා.
එම දඩ මුදල ගෙවීම ද විත්තිකරු පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් දෙවසරක සිර දඬුවමකට යටත් කෙරුණා.
නඩුවේ තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.
විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ නව හැවිරිදී පාසල් සිසුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇත්තේ එම සිසුවා පාසලේ හතරවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතරතුරදී බවයි අධිකරණ නඩු විභාගයේදී අනාවරණය වුණේ.