වෙසක් සහ පොසොන් පොහොය දිනයන්හි රටේ පවත්වන සියලු දන්සල් හොල්මන් මන්දිර වැනි භූත වැඩ නැවැත්වීමට බලධාරීන්ගේ අවධානය යොමු කර වහා පියවර ගත යුතුයැයි මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමල ධර්ම හිමියෝ පැවසූහ.
විමලධම්ම හිමියන් එසේ ප්‍රකාශ කළේ මාතලේ කොටුවේ ගෙදර සුධර්මෝදය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීමට සමගාමීව ශ්‍රී විමල දහම් පාසලේ ත්‍යාග හා සහතික පත් ප්රදානෝත්සවය ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වැනි දින විහාරස්ථානයේ පැවති උත්සවයේදීය.
මෙහිදී වැඩිදුරටත් විමල ධර්ම හිමිපාණෝ මෙසේ ද පැවසූහ.
අපි කියන්නේ නෑ දන්සල් දීම නරකයි කියලා. නමුත් මේ වෙසක් පොසොන් දිනයන්හි දන්සල් දීමට කටයුතු කිරීමෙන් පන්සලට එන පිරිස අඩුවී දන්සලට යන පිරිස වැඩි වී ඇති බව දක්නට ලැබෙනවා. මෙය නොවෙයි සැබෑ බුදු දහම. බුදු දහමට අනුව පෝය දිනයන්හි පන්සල වෙත පැමිණ ආගමික වතාවත් සිදු කිරීමට ප්‍රමුඛස්ථානය දිය යුතු වුවත් අද සමාජයේ දක්නට ලැබෙන්නේ එවැන්නක් නොව දන්සල් භූතමන්දිර වැනි විකාර කටයුතුවලට ජනතාව යොමුවීමෙන් ගැටලු රැසක් මතු වී ඇති බවයි.
වෙසක්, පොසොන් පොහොය දිනයන්ට පසුදින සිට දින කීපයක් දන්සල් දුන්නත් කමක් නෑ. අපි ඒවට එපා කියන්නේ නෑ. බලන්න පෝය දවසට භික්ෂුවකට ධර්ම දේශනාවකට වඩින්නවත් ජනතාවට හදිසි ගමනක් යන්නවත් බැරි අයුරින් රථවාහන තදබදයක් ඇතිවෙලා තිබෙනවා. මේ පිළිබඳ රටේ බලධාරීන්ගේ අවධානය යොමු කළයුතු කාලයයි දැන් උදාවී තිබෙන්නේ යැයි විමල ධර්ම හිමියෝ ප්‍රකාශ කළහ.
විහාරාධිපති මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමිපාණන්ගේ අදහසකට අනුව මේ වැඩසටහන පැවැත් වූ අතර අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක කොස්ගොල්ලේ සීලරතන හිමිපාණන් මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.