නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා හිතෛෂි පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අත්හළ නොහැකි භාරධුර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.
එම සුබපැතුම් පණිවිඩයේ මෙසේද දැක්වේ.
ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත් ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි.
දිවයිනේ උතුර, නැඟෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැඟීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකිවිය. ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැඟීම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වනවිට අපි යුහුසුලුව කටයුතු කරමින් සිටිමු.
ග්‍රාමීය දිළ`ිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන සිටිමු. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන නව වසරේ උදාවත් සමග ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම අනුවයි.
මෙකී පරිවර්තනාත්මක සංවර්ධන ව්‍යායාමය සමග රටක් ලෙස අප 2024 වසරේදී ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරගනිමින් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ සැමට උරුම කරදීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමග පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂි පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් ඔබට, අපට හිමිව ඇත. අත්හළ නොහැකි මෙම භාරධුර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවී තිබේ. ඒ වගකීම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇත. මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත් එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද් අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු.
සෞභාග්‍යය, එකමුතු බව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් වේවා! යි සාමය සහ ප්‍රගමනය උදෙසා අප හා එක්ව ප්‍රයත්න දරන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරමි.