ජනපති වරප්‍රසාද පනත කඩිනමින් වෙනස් කිරීමට තීරණය කරයි

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරුන් එන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කර ගෙදර යෑමට බවද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු ආණ්ඩුවේ ගෙදරක් නොගත් බවත් ඒ ගැන තමා ඔහුට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා කීවේය.

ඔහු ඔහුගේ නිවසට ගිය බවද දිසානායක මහතා පැවසීය.

හේමා ප්‍රේමදාස මහත්මිය ආණ්ඩුවේ ගෙදරක සැලකිය යුතු කාලයක් සිටි බව පැවසූ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය සමාජගත වීමෙන් පසු ඇය නිවස බාර දුන් බවද සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් චිත්‍ර සිරි කමිටුව පත්කළ පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ නිවස බාර දුන් බව ජනාධිපතිවරයා කීය.

නිවාස භාර නොදුන් ජනාධිපතිවරුන් තිදෙනෙකු ඉදිරිව සිටින බවත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ, සහ මෛත්‍රිපාල සිරිසේන එම තිදෙනා බවත් ඔහු කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වන කොළඹ විජයරාම මාවත නිවසේ ඉඩම අක්කර යයි පර්චස් 13 ක් බවත් නිවසේ වර්ග අඩි ප්‍රමාණය තිස් දහස් පන්සීයක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

රජයේ තක්සේරුව අනුව එම නිවස කෝටි 350ක් වටිනා බව දිසානායක මහතා පැවසීය.

ඒ අනුව එහි මාසික කුලිය ලක්ෂ 46ක් බව තක්සේරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපති මන්දිරය තමා පාවිච්චි නොකළාට ජනාධිපති ධූර කාලයෙන් පසු එය රජයට ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා මේ නිවාස කිසිවක් නැවත රජයට නොලැබෙන බවද ප්‍රකාශ කළේය.

ඒ වගේම ඔහුගේ ජීවිත කාලයට ඔහුගේ බිරිඳගේ කාලයටත් මේ නිවස අපි ලබාදෙන්න ඕනද යැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *