කෝටි හයකට ආසන්න වටිනාකමක් සහිත මෙම මොටර් රථ දෙක තීරු බදු නොගෙවා වරායෙන් රහසිගතව පිට කරගෙන සිය බෑණාගේ නිවසේ රඳවා තබන්නට හිටපු වරාය ඇමතිවරයා ද ලෙස කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන කටයුතු කර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබෙමින් ඇතැයි විමර්ශන අංශ පවසයි.
රෝහිත අබේගුණවර්ධනගේ දියණිය විවාහ වී සිටින්නේ මහනුවර ප්‍රධාන පෙළේ මෝටර් රථ අලෙවි ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුගේ පුතෙක් සමගය. රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයෙක් ලෙස කටයුතු කරද්දී ඔහුගේ පුද්ගලික කාර්යමණ්ඩලයට ද සිය බෑණා සම්බන්ධ කරගෙන තිබිණි.


මේ වාහන දෙක සම්බන්ධව මහජන පැමිණිල්ලක් ලෙස තොරතුරු ලැබෙන්නේ 1997 අංකයටය. එම තොරතුරෙන් කියැවී තිබුණේ සැකකටයුතු වාහන දෙකක් අරුප්පොල ප්‍රදේශයේ නිවස සඟවා ඇති බවය. එම තොරතුර අනුව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරගේ උපදෙස්මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායකගේ මෙහෙයවීමෙන් මෙම ස්ථානයේ වැටලීමක් කර තිබිණි.
වැටලීමේ දි මෙම නිවස රෝහිත අබේගුණවර්ධනගේ බෑනාගේ නිවස බව අනාවරණය වූයේය. අනතුරුව වාහන දෙක සම්බන්ධව පොලිස් විමර්ශකයෝ එය රඳවාගෙන තබාගෙන සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කළහ. වාහන දෙකට සම්බන්ධ කිසිම නෛතික ලේඛනයක් හෝ ලියාපදිංචිය පිළිබඳ සහිතයක් ඉදිරිපත් කිරීමට වාහන සන්තකයේ තබා ගත් රෝහිතගේ බෑණාට හැකියාවක් ලැබී නැත.
ඒ අනුව රෝහිතගේ බෑණාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් පොලිසිය වාහන දෙක පොලිස් භාරයට ගෙන ඇත.
වාහන දෙක සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. මීට සතියකට පෙර මේ ආකාරයෙන්ම ලියාපදිංචි නොකර හොරා ගත් ගරාජ් අංකයක් සහිතව හිල්ටන් රථගාලේ නවත්වා තිබූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අයත් බී.එම්.ඩබ්ලියු රථයක් පොලිසිය භාරයට පත් වූයේය.
මේ වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඉඩ නොතබා සැඟවී සිටින බව සීඅයිඩිය පැවසුවේය.