සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම මහත්වරුන් විසින් ඊයේ (23) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ සහ විදේශ ඇමැතිවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුවන මෙම තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ගමන සඳහා ඔවුන් දෙදෙනාම රජයේ මුදල් වෙනුවට තම පෞද්ගලික ධනය වැය කිරීමත් විශේෂත්වයක්.
අනෝජන්ගේ ජීවිතය ඉල්ලා විශේෂ රාජ්‍යතාන්ත්‍රික දූතයන් ලෙස මොවුන් දෙදෙනා කඩිනමින් සෞදි අරාබියට යැවීමට රජය පෙරේදා (22) තීරණය කළ අතර, ඒ බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළා.
මෙම මෙහෙයුමේ මූලික පියවර ලෙස ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම යන නීතීඥයන් දෙපළ ඊයේ දහවල් මාලදිවයිනේදී, ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරකු මෙන්ම මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වන මොහොමඩ් නෂීඩ් හමුවී අදාළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කර තිබුණා.
මොහොමඩ් නෂීඩ් යනු මාලදිවයිනේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයායි.
එමෙන්ම ඔහු ප්‍රකට දේශපාලඥයකු සහ ක්‍රියාකාරිකයකු ලෙසද ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වූ නායකයෙක්.
මෙම තීරණාත්මක සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අනෝජන්ගේ ප්‍රකාශය මුස්ලිම් සමාජයට බරපතළ ප්‍රකාශයක් වුවද, අසරණ තරුණයකුගේ ජීවිතය වෙනුවෙන් තමන් ඔහු පිළිබඳව මානුෂීයව පෙනී සිටින බවයි.
එමෙන්ම ඔහුගේ ජීවිතය ගලවාගැනීම සඳහා තමාගෙන් දිය හැකි පූර්ණ සහාය ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සහතික වී තිබෙනවා.
මාලදිවයිනේදී අද (24) පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවත්, ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට තමන් සූදානමින් සිටින බවත් ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම තහවුරු කර සිටියා.