වැවිලි සමාගම් විසින් විවිධ ප්රතිලාභ පොරොන්දු වෙමින් මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, එවැනි කිසිදු ආයතනයක් පිළිගැනීමට හෝ අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව කිසිදු යාන්ත්‍රණයක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
මුදල් ප්‍රතිපත්ති විග්‍රහය ඉදිරිපත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා සඳහන් කළේ, මෙවැනි තැන්පතු ලබාගැනීමේ ක්‍රමවේද සඳහා මහ බැංකුවේ කිසිදු අවසරයක් හෝ අනුමැතියක් හිමිව නොමැති බවයි.
මෙම ව්‍යාපාරික ආකෘතීන් නීති විරෝධී ලෙස සලකන බැවින්, එවැනි අවදානම් සහගත ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
දැනටමත් එවැනි යෝජනාක්රමවල මුදල් තැන්පත් කර ඇති පිරිස් වෙත උපදෙස් ලබා දෙමින් අධිපතිවරයා පවසා සිටියේ, එම මුදල් වහාම නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.
යම් හෙයකින් එම මුදල් ආපසු ලබාගැනීමට බාධා මතු වන්නේ නම්, ඒ පිළිබඳව වහාම පොලිසියට හෝ මහ බැංකුවට පැමිණිලි කරන ලෙස ද ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට අනුව යම් ආයතනයකට මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඔවුන් මුදල් සමාගමක් ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
එසේ නොවන ඕනෑම ආකාරයක තැන්පතු ලබාගැනීමක් දණ්ඩනීය වරදක් බවත්, එවැනි ආයතන සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.