හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට විකිණීමේ ක්‍රියාවලියේදී අමෙරිකානු ඩොලර් මිලියන 5ක එනම්, රුපියල් කෝටි 100ක අල්ලස් මුදලක් ලබා ගත් බවට සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට ඊයේ (27) පැමිණ තිබේ. කොමිසම කළ දැනුම් දීමකට එහි පැමිණි ඒ මහතා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් දී ඉන් පිටව ගොස් තිබේ.
එම අල්ලස් මුදල ලබා ගත් බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
‘අල්ලස, දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත. සිංගප්පූරුවේ විදම්බරම් නමැති පුද්ගලයකු ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයකට අනුව, ටී.පී.එල්. ඉත්මා (TPL Itma) සමාගම සහ හෙලියාට් (Heliat) නමැති උපදේශන සමාගම මඟින් මෙම මුදල් ලබාදී ඇති බවට එම පැමිණිල්ලේ දක්වා ඇත.
සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ කරුණු උපුටා දක්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, එම මුදල් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් මිලදී ගැනීමට සහ සී.එස්.එන්. (C.S.N.) මාධ්‍ය ජාලයට ලබාදී ඇති බව ද එහි සඳහන් කිරීම හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කොමිසම වෙත කැඳවා ඇත.