සයින්දමරුදු සිරුරු අතර සාරාගේ සිරුර තිබුණේ නැහැ – පාස්කු මහ නඩුවේදී නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර හෙළි කරයි

සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු අතර සාරා ජස්මින් නමැත්තියගේ සිරුර නොතිබුණු බව නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා පාස්කු මහ නඩුවේ සාක්ෂි දෙමින් ඊයේ (04) ප්‍රකාශ කළේය.

9 වැනි විත්තිකරු වන සාජිත් රම්සීන් විසින් අසන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම තොරතුරු අනාවරණය කළේය.

2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විමසීමේදී මෙම කරුණු හෙළි විය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක සහ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව දිනපතා විභාග වේ. ඊයේ (04) මෙම නඩුව රාත්‍රිය දක්වා විභාග කෙරුණු අතර එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය.

එවකට අම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කළ, වර්තමානයේ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර දකුණ) සාමන්ත විජේසේකර මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ, රාජ්‍ය බුද්ධි සේවයේ නැඟෙනහිර කලාපය භාර නිලධාරියාගෙන් කල්මුණේ සහ සමන්තුරේ සැකකටයුතු ස්ථාන දෙකක් පිළිබඳ තොරතුරක් ලැබුණු බවයි. එම තොරතුරට අනුව අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩල්ලගේ සහ විශේෂ කාර්ය බළකායේ අතුල රත්නායක දැනුවත් කර කඩිනමින් ආරක්ෂක අංශ එම ස්ථානයට යොමු කළ බවද හෙතෙම පැවසීය.

ඒ අනුව 2019 වසරේ අප්‍රේල් 26දා සමන්තුරේ ෆවුස් මාවතේ පිහිටි ඉස්මයිල් ලෙබ්බේ අබ්දුල් රහීම් යන අයගේ නි‍ෙවසේ තිබී පාස්කු ප්‍රහාරකයන් භාවිත කළ ISIS සංවිධානයේ නම ඇතුළත් කළු පැහැති බැනරයක් හමුවූ බව සාක්ෂිකරු කියා සිටියේය. එම ස්ථානය පරීක්ෂා කළ විමර්ශකයන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු ලබා දුන් නින්දවූර්හි පරණ තියටර් පාරේ පිහිටි නි‍ෙවසකට ගිය බවත්, එහි තිබී ‘බැක් පැක්’ වර්ගයේ ගමන් මලු කිහිපයක් සහ ප්‍රහාරකයන් භාවිත කළ ඇඳුම් කිහිපයක් හමුවූ බවත් පැවසීය. එමෙන්ම එම නි‍ෙවසේ පසෙක ලියාපදිංචි නොකළ බඩී වර්ගයේ වෑන් රථයක් නවතා තිබුණු බවද දන්වා සිටියේය.

එම ස්ථානයේ පරීක්ෂණ පවත්වමින් සිටින අතරතුර කල්මුණේ රථවාහන ස්ථානාධිපතිවරයාගෙන් සයින්දමරුදු ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඇති බව දැනගැනීමට ලැබුණු බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය. එම තොරතුර ලද වහාම තමා සහ යුද හමුදා බළසේනාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා එම ස්ථානයට ගිය බව පැවසීය. ඒ යන අතර යකඩ පාලම අසලට යන විට වෙඩි තැබීම් කිහිපයක් සහ විශාල පිපිරීම් හඬක් ඇසුණු බවත්, එම වෙඩි තැබීම් පැයකට වැඩි කාලයක් පුරා පැවැති බවත් සාක්ෂිකරු අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ විමසීමට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

තමන් ඇතුළු පිරිස සයින්දමරුදු ගම්මානයේ කෙළවර පිහිටි නි‍ෙවසට යන විට එහි පිපිරීමක් සිදුව තිබුණු බවත්, ප්‍රධාන දොරටුව ඉදිරිපිට පාරේ T-56 වර්ගයේ ගිනිඅවියක් සහිතව අයකු මැරී වැටී සිටි බවත් සාක්ෂිකරු කීය. ඔහු ‘නිසාබ්’ නමැත්තා බව හඳුනාගෙන ඇත. එමෙන්ම ගිනි ගනිමින් තිබුණු යතුරුපැදියක් තමා දුටු බව කියා සිටි සාක්ෂිකරු, නි‍ෙවසේ ඉදිරිපස දොර ළඟ තවත් මළ සිරුරක් තිබුණු බවත් එය සහරාන්ගේ සොහොයුරු ‘සෙයිනි’ බවත් පැවසීය. මෙයට අමතරව සහරාන්ගේ මව, පුතා සහ නංගීගේ මළ සිරුරු හමුවූ බවද ඔහු කියා සිටියේය.

සහරාන්ගේ මවගේ සිරුර හමුවූ ස්ථානයේ ඉහළ ස්ලැබ් එකක් මත තිබී T-56 ගිනිඅවියක්, ඩෙටනේටර් 27ක් සහ ජෙලග්නයිට් කූරු 56ක් හමුවූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය. තවද නි‍ෙවසේ වහලයේ තිබී එක් පාදයක් නැති අයකුගේ මළ සිරුරක් හමුවූ අතර, එම මියගිය තැනැත්තා සහරාන්ගේ අනෙක් සොහොයුරා වන ‘රිල්වාන්’ ලෙස හඳුනාගත් බවද පැවසීය.

එමෙන්ම එලෙස මියගිය තැනැත්තන් සමාජ මාධ්‍යයේ පණිවුඩයක් තබා තිබුණු බවත්, එහි අසභ්‍ය වචන භාවිත කර බැණ වදිමින් “අද අපිව වටකර තිබෙනවා. අපි ඔවුන්ට හොඳ පාඩමක් උගන්වනවා” යනුවෙන් සටහන් කර තිබුණු බවත් සාක්ෂිකරු දන්වා සිටියේය.

තවද, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් යන අය විදේශගතව වාසය කරන බවටත්, ඔහු තමා සමඟ ගොස් කටුනායක ගුවන්තොටුපොළින් විදේශගත වූ බවටත් සාරා ජස්මින් ප්‍රකාශ කිරීම නිසා ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට ගුවන්තොටුපොළේ CCTV දර්ශන පරීක්ෂා කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට පැවසීය. එහිදී ඇය විමර්ශකයන් නොමඟ යැවීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී තිබේ. CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා එකට ගුවන්තොටුපොළට ගොස් අනතුරුව වෙන වෙනම වාහන දෙකකින් ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර, ෂැංග්‍රි-ලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල ප්‍රහාරයන් සිදුකළ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන ප්‍රහාරකයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඩී. චන්න පෙරේරා මහතා ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. එහිදී සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ සිරුරෙන් කකුලක් පමණක් ඉතිරිව තිබුණු බවත්, අනෙක් ප්‍රහාරකයාගේ හිස කඳෙන් ගැලවී තිබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහුගේ කඳ කොටස කුඩා කැබලිවලට වෙන්වී ගොස් තිබූ අතර, ස්වයංඝාතක බෝම්බ ප්‍රහාරයකදී එවැන්නක් සිදුවිය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. තවද, ප්‍රහාරකයාගේ හිසේ හකු අස්ථිය මැදින් දෙපළු වී තිබුණු බවත්, එවැනි අසාමාන්‍ය බිඳීමක් සිදුවිය හැක්කේ මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පමණක් බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *