රජය විසින් 2025 ජූලි මාසයේදී මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 16ක් සඳහා ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවා තිබූ අතර, එහි ව්‍යාපෘති තෝරාගත් ආයතන තුනකට පිරිනමා තිබෙනවා.
ඒ අනුව, Windforce PLC සමාගම විසින් ගෙන්වූ පද්ධති 6ක් අද(30) අලුයම කොළඹ වරායට ළඟා වී තිබෙනවා.
මෙම පද්ධති මාහෝ, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චිය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ ආසන්නයේ ස්ථාපිත කිරීමට නියමිතයි. එක් පද්ධතියකට දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලි ශක්තියක් ගබඩා කළ හැකි අතර, රාත්‍රී කාලයේ උපරිම ඉල්ලුම පවතින අවස්ථාවලදී මෙගාවොට් 10ක විදුලිය ජාතික ජාලයට මුදා හැරීමට හැකි වේ. පද්ධති හයෙන් ලැබෙන සමස්ත ධාරිතාව මෙගාවොට් 60ක් වනවා.
මෙම Battery Energy Storage System (BESS) පද්ධති පාලනය සහ කළමනාකරණය බලශක්ති අමාත්‍යාංශයට අයත් National System Operator (NSO) සමාගම විසින් සිදුකරන අතර, නඩත්තු කටයුතු අදාළ සමාගම් වෙත පැවරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතයට ගන්නා මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධති මගින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ට අඩු පිරිවැයකින් විදුලිය සැපයීම රජයේ ප්‍රධාන අරමුණක් ලෙස සැලකෙනවා.
දැනට ඉන්ධන මගින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 115ක් පමණ වැය වන අතර, BESS පද්ධති හරහා එම පිරිවැය රුපියල් 30ක් දක්වා අඩු කළ හැකි බව සඳහන්. එමගින් විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීමත්, ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය සඳහා මාසිකව වැය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6ක විදේශ විනිමය ඉතිරි කිරීමත් අපේක්ෂා කෙරේ.
පාරිසරික සහ දේශගුණික අභියෝග මෙන්ම ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයේ අස්ථාවරභාවය හේතුවෙන් ජාතික විදුලිබල සැපයුමට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බව රජය පවසනවා.