මෙරට ගොඩනැඟිලි ලක්ෂයක් කඩා වැටීමේ අවදානමකට වැටෙයි

මහා විපතක් සිදු කළ කුණාටුව සමග භයානක කතාවක් කරළියට පැමිණියේ ය. ඒ මධ්‍ය ම පළාත ඇතුළුව මෙරට විවිධ ප්‍රදේශවල ඉදිකිරීම් ලක්‍ෂයක් පමණ දැඩි අවදානම් තත්ත්වයක පවතින බවය. එම ගොඩනැඟිලි බොහෝමයක් පාළුවට ගිය වවුලන් ලගින භූත බංගලා නොව, මිනිස් වාසය සහිත ගොඩනැඟිලි ය. එහෙයින් එම කතාව ඇසෙනවිට සිත කීරිගැසෙන තරමට කම්පනයට පත් විය.

වාර්තා වන ආකාරයට අවදානම් සහිත ගොඩනැඟිලි බොහෝමයක් අනවසර ඉදිකිරීම් ය. එම අනවසර ඉදිකිරීම් සිදු කර ඇත්තේ භූමියේ පිහිටීම ගැන සැලකිලිමත් නොවී, නිසි ප්‍රමිතියකින් තොරව රක්ෂිත හෝ අවදානම් සහිත ප්‍රදේශවලය. එමෙන් ම එම අනවසර ඉදිකිරීම් බොහෝමයක් සිදු කර ඇත්තේ පළාත් පාලන ආයතනවලින් ලබාදෙන නිර්ණායකවලට පටහැනිව කිසිදු අනුමැතියකින් තොරවය. විශේෂයෙන් ම උඩරට සහ මධ්‍යම පළාතේ ඉදිකිරීම් අදාළ භූගෝලීය පිහිටීමට අනුව ඉදිකළ යුතු වුවද ඉදිකිරීම් කරන්නන් එකී භූගෝලීය පිහිටීම වෙනුවෙන් ලබාදෙන නිර්ණායක නොසලකා කටයුතු කර තිබෙන බව ද වාර්තා වේ. එම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් අදාළ පළාත් පාලන ආයතන ද නිසි අවදානය යොමු කර ඇති බවක් නොපෙනේ. දෙපාර්ශ්වයේම නොසැලකිලිමත් භාවය නිසා භූමිය, ඉදිකිරීම් පමණක් නොව, ඒ තුළ සහ ආසන්නයේ ජීවත් වන මිනිසුන් ද දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබේ.

අදාළ රාජ්‍ය ආයතනවල නොසැලකිලිමත්භාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ඇතැම් පුද්ගලයන් ප්‍රසිද්ධියේ පහත් බිම් ගොඩකර ඉදිකිරීම් සිදු කරන අයුරු අපිදු දැක ඇත්තෙමු. ද්‍රෝණියක් ද සුළං කපොල්ලක් ද රක්ෂිතයක් ද වෙනත් අවදානම් ස්ථානයක් ද යන්න සැලකිලිමත් නොවී ඉදිකිරීම් සිදු කර ඇති අයුරු මධ්‍යම පළාතේ උඩරට කඳුකරයේ සංචාරය කරනවිට පමණක් නොව, කඳු සහිත වෙනත් ප්‍රදේශවලදී ද දැක ගැනීමට ලැබේ. ගංගා, ඇළ, දොළ ගොඩ කර ඉදිකිරීම් සිදු කළ සිද්ධි ගැන ද විටින්විට මාධ්‍යයෙන් හෙළිදරව් කළ අවස්ථා බොහොමයකි. එකී අනවසර ඉදිකිරීම්වලට මෙරට නීතිය හරිහැටි ක්‍රියාත්මක වූයේ ද යන්න ගැටලුවකි. එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ලෙස සිදු කරන ඇතැම් ඉදිකිරීම් නිසා ගංවතුර, නාය යෑම් තත්ත්වයන් වැඩි වී තිබෙන බව ද වාර්තා වේ. අකුරණ ප්‍රදේශයේ දී පිගා ඔය හරහා කිලෝමීටර් 2ක් ඇතුළත පාලම් 56ක් ඉදිකර තිබුණ ද සුළු වැස්සක දී පවා එම ප්‍රදේශය ගංවතුරෙන් යට වන බව ප්‍රදේශවාසීහු අපට පෙන්වා දුන්හ. රජයේ විශාල මුදලක් වියදම් කර අකුරණ ගංවතුර ගැටලුව තවත් උග්‍ර තත්ත්වයට පත් වී ඇති නම් එම පාලම් නිසි ප්‍රමිතියට සහ ජල බැස්මට අනුව සිදු කර නැති බව සැබෑය. මුදල් ගසා කෑම අරමුණු කරගෙන සිදු කළ ව්‍යාපෘති යැයි යමෙක්ට සිතීම අසාධාරණ නැත.

අකුරණ පමණක් නොව, කඳුකරයේ බොහෝ ප්‍රදේශ සාමාන්‍ය වැස්සටත් ගංවතුර තත්ත්වයන්, නාය යෑම් සිදු වන බව වාර්තා වේ. නාය යෑමේ අධි අවදානම් ස්ථාන 15,000ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබිණි.

පසුගිය දිනවල පැවැති ගංවතුර තත්ත්වය තුළ හඳුනාගෙන ඇති එම අවදානම් ස්ථාන 237ක් නාය යෑම් සිද්ධි වාර්තා වූ බව ද ඔහු පෙන්වා දී තිබිණි. වාර්තා වූ නාය යෑම් සිදුවීම් 231ක පරSSCෂණ කටයුතු අවසන් කර තිබේ. ස්ථාන 166ක් නාය ගොස් ඇත්තේ පස් කඳු කඩා වැටීමෙනි. ස්ථාන 17ක ගල් පෙරළී යෑමෙන් නාය යෑම් හටගෙන තිබේ. වෙනත් සිදුවීම් හේතු කොටගෙන නාය යෑමේ සිද්ධි වාර්තා වූ ස්ථාන 24කි. බරපතළ තත්ත්වයේ නාය යෑම් වාර්තා නොවූ අතර එම නාය යෑම් බොහෝමයකට පාදක වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බව ද වාර්තා වේ. නාය යෑමේ අධි අවදානම් ප්‍රදේශවල පදිංචි පවුල් 5000ක් ඉවත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබේ. මේ වනවිට පවුල් 2500ක් ඉවත් කර ඇති බව ද වාර්තා වේ. පෙළගැසෙන කතාවට අදහස් විමසීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කර ගත්තෙමු. මේ ඔහු දැක්වූ අදහස් ය.

“මෙරට බොහෝ නගර යට වෙන්නේ පැරණි ජල බැස්ම අවහිර කර ඉදිකිරීම් කර තියෙන නිසා. ගම්පහ නගරය යට වීමට ප්‍රධානම හේතුව අවට පහත්බිම් ගොඩකිරීම. පහුගිය කාලයේ දී මහා පරිමාණයෙන් ගම්පහ පහත් බිම් ගොඩකර විශාල ඉදිකිරීම් කළා. එවැනි අවිධිමත් ඉදිකිරීම් නිසා වැස්ස කාලයට දුක්විඳින්නේ පහත් බිම් ගොඩ කරන දේශපාලනඥයෝ, ව්‍යපාරිකයෝ නෙමෙයි,

ගම්පහ ජනතාව. ඒ වගේම අවුරුදු 150කට වඩා පැරණි භූගත ජල පවහනයක් කොළඹ නගරය තුළ ක්‍රියාත්මකයි. අවුරුදු 100කට වඩා පැරණි උමං ජල මාර්ගයක් නුවර නගරයේ ක්‍රියාත්මකයි. අහසින් වැටෙන වැහි වතුරවලින් 20%ක් පොළොවට උරාගෙන ඉතිරි ජලය එම ජල මාර්ගවලින් ක්‍රමානුකූලව ඇළ, දොළ හරහා ප්‍රධාන ගංඟාවලට ගලා බැහැලා යන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා. දැන් ඒ ජල පවහනය සම්පූර්ණයෙන් ඇහිරිලා. වැහි වතුර 20%ක් පොළොවට උරා ගන්නෙත් නෑ. අහසින් වැටෙන ජලය සේරම වගේ ඇළ, දොළ, ගංගාවලට එකතු වෙනවා. ඇළ, දොළ, ගංඟාවල පළල, ගැඹුර අඩු වෙලා. එහෙම වෙනකොට ගංඟා පිටාර ගලන ප්‍රවණතාවය වැඩියි. පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශවල ගොඩනැඟිලිවලට ගංවතුරෙන් දැඩි බලපෑමක් තියෙනවා. ඒත් බෑවුම් සහිත ප්‍රදේශවල තියෙන්නේ නාය යෑමේ අවදානම සහ ඉදිකිරීම්වල ප්‍රතිමිතිය සම්බන්ධ ගැටලු. හොඳම උදාහරණය බූවැලිකඩ ගොඩනැඟිල්ල කඩා වැටීම. තට්ටු තුනක ගොඩනැඟිල්ලකට අවසර ලබාගෙන තට්ටු පහක් හදලා තිබුණා. අන්තිමේ එම ගොඩනැඟිල්ල කඩා වැටිලා විශාල හානියක් සිද්ධ වුණා.

ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට පෙර භූමියේ පිහිටීම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෑ. ඉංජිනේරු උපදෙස්වලට අනුකූලව ගොඩනැඟිලි සැලසුම් කරන්න ඕනෑ…”

රටේ ගොඩනැඟිලි ලක්ෂයක් කඩා වැටීමට නියමිතයි

ඒ වගේම ගොඩනැඟිල්ලක පවතින අවදානම තීරණය වෙන්නේ ඉදිකිරීම් සිදු කර තිබෙන ස්ථානය, ප්‍රමිතිය සහ වයස මත. නුවර ගොඩක්ම ගොඩනැඟිලි පරණයි. ඒ වගේම නුවර ගොඩක්ම ඉදිකිරීම් කරලා තියෙන්නේ බෑවුම් සහිත ප්‍රදේශවල. එවැනි බෑවුම් සහිත ප්‍රදේශවල ගොඩනැඟිලි ඉදිකිරීමේදී නිසි ප්‍රමිතියට පාදම සකස් නොකිරීම ගොඩනැඟිල්ලේ පැවැත්මට බරපතළ ගැටලුවක්. ඒ වගේම දේශපාලන ඉල්ලීම් මත වියදම අඩු කර වැඩි ලාභ බලාපොරොත්තුවෙන් පසුගිය කාලයේ සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් නිසි ප්‍රමිතියට සිද්ධ කළේ නෑ. විශේෂයෙන් පාලම්, බෝක්කු ප්‍රමාණය අඩු කර ඉදිකිරීම් කරලා තියෙනවා. එවැනි පාලම්, බෝක්කුවලින් නිසියාකාරව ජලය බැහැල යන්නෙ නෑ. අකුරණ ප්‍රදේශය යට වීමට ප්‍රධානතම හේතුව ප්‍රමිතියක් නැති පාලම් ඉදිකිරීම. පිගා ඔය හරහා නිසියාකාරව පාලම් ඉදිනොකරන්න අකුරණ නගරය යට වෙන බව වසර විස්සකට පෙර අපි පෙන්නා දුන්නා. අපේ මතයට ඇහුම්කන් නොදී ඔය දිගට පාලම් ඉදිකළා. දැන් පුංචි වැස්සටත් අකුරණ යට වෙනවා. නුවර නගරයටත් ඒ තත්ත්වය උදා වෙමින් තියෙනවා. දැනටත් මහ වැස්සක් වැටුණොත් නුවර යට වෙනවා. ඒකට ප්‍රධානතම හේතුව නුවර නගරයේ සිට මහවැලි ගඟට ගලා බහින ප්‍රධාන ඇළ මාර්ග දෙක දෙපස තියෙන අනවසර ඉදිකිරීම්. මේ වෙනකොට අනවසර ඉදිකිරීම් නිසා ඇළ මාර්ග දෙකේ පළල 50%ක් පමණ අඩු වෙලා. නුවර මාහීයාව ප්‍රදේශය ගොඩනැඟිලි ගොඩක්. ඒ අනවසර ඉදිකිරීම්වලට අවසර දීලා තියෙන රාජ්‍ය ආයතන, නිලධාරීන් ගැන ප්‍රථමයෙන් පරSSCෂණයක් කරන්න ඕනෑ. නුවර නගරයේ පමණක් නෙමෙයි, ලංකාව පුරා ම ගඟා, ඇළ, දොළ, පහත් බිම්වල සිදු කර තිබෙන ඉදිකිරීම් බොහෝමයකට අවසර නෑ. එම ඉදිකිරීම්වලට අවසර අරගෙන තියෙන්නේ කොහොමද කියලා පරික්ෂණ කරන්න ඕනෑ. හොරාට කරන ඉදිකිරීම් නිසි ප්‍රමිතියට සිද්ධ වෙන්නෙත් නෑ…”

“වසර පහකට පෙර එවකට රජයේ ඉල්ලීමකට අනුව නුවර නගරයේ ගොඩනැඟිලි ගැන අධ්‍යයනයක් සිදු කළා. එම අධ්‍යයනයේ දී නුවර ගොඩනැඟිලි 100ක් පමණ දැඩි අවදානම් තත්ත්වයක පවතින බව අපි සොයාගත්තා. එම ගොඩනැඟිලි අතරින් කිහිපයක් අලුත්වැඩියා කර අවදානම් තත්ත්වය නැති කර ගන්න පුළුවන්. සමහර ගොඩනැඟිලි අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයට අබලන් වෙලා. රට පුරා තියෙන අවදානම් සහිත ඉදිකිරීම් නිවැරැදි පරSSCෂණයකට භාජනය කරන්න ඕනෑ. අලුත්වැඩියාවකින් පසු ප්‍රයෝජනයට ගන්න බැරි තරමට අවදානම් සහිත ගොඩනැඟිලි කඩිනමින් ඉවත් කරන්න ඕනෑ. මේ අවදානම ඉවත් කරන තෙක් රටත්, පරිසරයත් දෙකම අනතුරේ. විශාල කුණාටුවක් එක්ක ධාරාණිපාත වර්ෂාවක් වැටුණොත් අවදානම් ගොඩනැඟිලි කඩා වැටෙන්න පුළුවන්. කුණාටුවක් නැතිව වුණත් කඩා වැටෙන්න පුළුවන්. වැටෙන වෙලාව කාටවත් කියන්න බෑ. අවධානමට පෙර සූදානම් වෙන එක හොඳයි. ඒ වගේ ම කඳුරට විතරක් නෙමෙයි, කොළඹත් අවදානම් සහිත පැරණි ගොඩනැඟිලි තියෙනවා. විශාල වශයෙන් මහල් නිවාස සංකීර්ණ තියෙනවා. ඒ නිවාසවල අදටත් ජනතාව ජීවත් වෙනවා. යම් අනතුරක් වුණොත් විශාල ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා කොළඹ අවදානම් ගොඩනැඟිලි හඳුනාගෙන හැකි තරම් ඉක්මනට කඩා ඉවත් කළ යුතු ඒවා කඩිනමින් ඉවත් කරන්න ඕනෑ…” මහාචාර් අතුල සේනාරත්න මහතාගේ දැක්ම නිවැරැදිය.

කොළඹ පැරණි මහල් නිවාසවල දැඩි අවදානම් තත්ත්වයේ පවතින නිවාස ඒකක විශාල සංඛ්‍යාවක් ඇති බව වාර්තා වේ. සුළු භූ කම්පන තත්ත්වයකට හෝ ඔරොත්තු නොදෙන නිවාස ඒකක බොහෝමයක් ඒ අතර ඇති බව ද වාර්තා වේ. අවධානමට ලක් වී ඇති නිවාස ඒකක අතර කොළඹ, තිඹිරිගස්යාය, කොළොන්නාව, රත්මලාන සහ මොරටුව ප්‍රදේශයේ නිවාස ඒකක ඇතුළත් ය. නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, කම්කරු දෙපාර්තමේන්තුව, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ස්වාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ පාලනය වන එම නිවාස ඒකක කාලයකින් නඩත්තු කටයුතු සිදු වී නැති බව ද වාර්තා වේ.

වේල්ස් කුමාර මාවත, කොළඹ 14 ලිපිනයෙහි අංක 210 සිට 260 දක්වා පිහිටි කොළඹ මහ නගර සභාවේ නිල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පවසන ආකාරයට එම නිවාසවල දැනට ජීවත් වනුයේ දෙවැනි, තෙවැනි පරම්පරාවන්හි සාමාජිකයන්ය. එමෙන්ම එම දෙමහල් ගොඩනැඟිලි ඉදිකර බොහෝ කාලයකි. එහෙත් නිවාසවල අයිතිය තහවුරු කිරීමට තවම පදිංචිකරුවන්ට බලපත්‍රයක් හෝ ලබාදී නොමැත. පදිංචිකරුවන්ට මතක ඇති කාලයක දී නිවාස අලුත්වැඩියාවක් සිදු කර නැත. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, හරූන් ලන්ත්‍රා ඇතුළු මෙරට ජනප්‍රිය කලා ශිල්පීන් රාශියක් ජීවත් වූ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ අද තත්ත්වය අතිශය ඛේදජනක ය. පීටර් කෙනමන් මහතා නිවාස සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගොඩනැඟුණු එම මහල් නිවාස ද නඩත්තුවක් නොමැති නිසා දැඩි සේ ජරාජීර්ණ තත්ත්වයට පත් වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු අපට පෙන්වා දුන්හ.

දෙමටගොඩ 51 සහ 63 වත්තේ තට්ටු නිවාස ඉදිකර ඇත්තේ ද 1960 ගණන්වල ය. එම තට්ටු නිවාසවල ඉදි වූ නිවාස පේළි තුළ පවුල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන බව ද වාර්තා වේ. කොළඹ මහ නගර සභාවෙන් එම නිවාස ලබාදී තිබුණ ද මේ වනවිට කිසිදු ආයතනයකින් එම නිවාස ගැන සොයා නොබලන බව ද නිවාසවාසීහු පැවසූහ. බිත්ති පුපුරා ගොස් ඒ අතර ගස් වැවී එම ගොඩනැඟිලි වේගයෙන් පරිහානියට පත් වෙමින් තිබෙන බව ද නිවාසවාසීහු පෙන්වා දුන්හ. කිසිදු නඩත්තුවක් නොමැති නිසා නිවාසවලට බදු නොගෙවන බව ද ඔවුහු අපට කීහ. එමෙන්ම 1986 වර්ෂයේ දී ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත ගුණසිංහපුර ඩයස් පෙදෙසෙහි ඉදිකර ඇති විශාල තෙමහල් නිවාස සංකීර්ණ තුන 1986 වර්ෂයෙන් පසුව අලුත්වැඩියා කර ඇත්තේ එක වතාවක් පමණක් බව ද වාර්තාවේ. පදිංචිකරුවන්ට අයිතියක් නැති, අදාළ ආයතනවලින් නඩත්තු කටයුතු සිදු නොකරන කොළඹ තවත් මහල් නිවාස බොහොමයකි. එම නිවාසවල ජීවත් වීම මරුවා සමග වාසය කිරීමක් වැනිය. එහෙත් පදිංචිකරුවෝ ද එම නිවාස අතහැර නොයති.

පදිංචි වී සිටින හෝ රැකියා කරන ගොඩනැඟිල්ලේ අවදානම සිහිබුද්ධියෙන් අවබෝධ කර ගැනීම වාසය කරන මිනිසුන්ගේ ද වගකීමකි. අනතුරුක් සිදු වෙන්න, හානිය තම ජීවිතයට ය. මියැදෙන්නේ හෝ අබ්බඝාතයන් බවට පත්වනුයේ තමන් බව තේරුම් ගතයුතුය. එමෙන්ම අවදානමට ලක් වී තිබෙන ගොඩනැඟිලි නිත්‍යානුකූල ද? අනවසරය ද? වෙනසක් නැත. පැමිණෙන විපත පොදු ය. විපතක් සිදු වූ පසු ඒ ගැන කම්පා වී ද ඵලක් නැත. අසරණ ජනතාව පස් කඳු, කොන්ක්‍රීට් ගොඩවල් අතර සැඟවී යෑමට පෙර අවදානමෙන් මුදාගැනීමට පාලකයන් සහ නිලධාරීන් සතු වගකීමකි. රට පුරා පවතින අවදානම් සහිත අනවසර ඉදිකිරීම් ක්‍රමාණුකූලව ඉවත් කළ යුතු සේම, අවදානම් තත්ත්වයේ පවතින නිත්‍යානුකූල මහල් නිවාස සම්බන්ධයෙන් ද අදාළ පාර්ශ්වයන් දෙනෙත් විවර කර බැලිය යුතුය. ඒ සෑම අවදානම් ගොඩනැඟිල්ලකම ජීවත් වනුයේ මිනිසුන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *