ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුකුළු මස්, බිත්තර සහ අන්නාසි චීනයට අපනයනය සඳහා පැවැති බාධක මේ වන විට චීන රජය විසින් ඉවත් කර තිබේ. පසුගියදා මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ උප අමාත්‍ය වැං ලිංජුන්ග් මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ කළ සාකච්ඡාවේදී මීට එකඟතාව පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙඳ පොළට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගාකරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ටද අවස්ථාව හිමි වී තිබේ.
අපේ රටේ මෙම කෘෂි නිෂ්පාදන චීන වෙළෙඳ පොළට අපනයනය කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක ඉවත් කර ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට විශාල කාර්ය භාරයක් කිරීමට සිදු විය. විශේෂයෙන් අපේ රටේ අන්නාසි වගා කරන ආකාරය මෙන්ම කුකුළු නිෂ්පාදනවල ගුණාත්මකභාවය එරට වෙළෙඳ පොළ තුළ තහවුරු කිරීම සඳහා ක්‍රමවේද ගණනාවක් සම්පූර්ණ කරන ලදි.කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඒ සදහා සිදු කළ කැපවීම නිසා චීනයේ වෙළෙඳ පොළ අවස්ථාවන් අප රටට ලබා ගැනීමේ ප්රයත්නය මේ වන විට සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් කවර කෘෂි නිෂ්පාදනයක් වුවද අපනයනය කිරීම සඳහා චීනයේ වෙළෙඳ පොළ අවස්ථාවන් පුළුල් කිරීමට චීන රජය කටයුතු කරන බවට චීන උප අමාත්‍යවරයා සහතික වූ බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.