මෙරට ළමුන්ට පිළිකා රෝග වැලදීම වේගයෙන් ඉහළට – දරුවන්ට පිළිකාකාරක කන්න දෙන දෙමව්පියනි මීළගට ඔබ විය හැකියි

2021 වර්ෂයේ දී ළමා පිළිකා රෝගීන් 1032 වාර්තා වී ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසනවා.

මේ අතර පිරිමි දරුවන් 578 සහ ගැහැනු දරුවන් 454 දෙනෙකු සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෛද්‍යවරයා සඳහන් කළේ 2021 වසරේදී ලියුකේමියාව වැළඳුණු දරුවන් 341 දෙනෙකු ද, ලියුපෝමාව වැළඳුණු දරුවන් 148දෙනෙකු ද, අස්ථි සම්බන්ධ පිළිකා වැළඳුණු දරුවන් 92 දෙනෙකු ද, මොළය ආශ්‍රිත පිළිකා වැළඳුණු දරුවන් 98 දෙනෙකු ද ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2015 වසරේදී ළමා පිළිකා හේතුවෙන් 224ක් මිය ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සුරාජ් පෙරේරා,
”පසුගිය අවුරුදු 15ක 17ක කාලයේ තමයි මේ 500ක තිබුණු ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය 1000ක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. මේක ක්‍ෂණිකව අවුරුද්දකින් දෙකකින් වැඩිවීමක් නෙවෙයි. පසුගිය අවුරුදු 17ක කාලය තුළ ක්‍රමානුකූලව ළමා පිළිකා රෝගීන් වර්ධනය වෙලා තියෙනවා. අනිත් රටවල්වලත් මේ වේගයෙන් තමයි ළමා පිළිකා රෝගීන් වර්ධනය වෙලා තියෙන්නේ. ලංකාවේ බහුලවම වාර්තාවන පිළිකාව වන්නේ ලියුකේමියාවයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *