වංචනික ක්‍රම මගින් උපයාගෙන පිටරට සඟවා ඇති මුදල් අත්පත් කරගෙන මෙරටට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය නව නීති සඳහා පනතක් තමා ඇතුළු කමිටුවක් මගින් දැන් කෙටුම්පත් කරමින් සිටින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි.
රජය විසින් පත්කරනු ලැබ ඇති මෙම කෙටුම්පත් කමිටුව ශ්‍රේෂ්ටාධිකරණ විනුසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු ද එයට ඇතුලත් වෙති.
ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයෙන් පිටත වෙනත් රටවල රඳවා ඇති මුදල් සොයා ගැනීමට සහ අත්පත් කරගැනීමට රටේ මෙතෙක් පැවති නීති අනුව හැකියාවක් නැති බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කියයි. එයට වෙන ම නීති අවශ්‍ය බව පෙනීගිය හෙයින් 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතට ද එම ප්‍රතිපාදන අඩංගු කොට නැත. ඒ සඳහා පත්කොට ඇති නීති කෙටුම්පත් කමිටුව මේ දිනවල සති අන්තවල සහ වෙනත් දිනවල ඇතැම් විට දින ගණන් එක දිගට වැඩ කරමින් කරුණු අධ්‍යයන කරමින් නව පනත කෙටුම්පත් කරමින් සිටින බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කියයි.
මෙතෙක් පැවති නීති අනුව වංචා කළ ධනයක් අත්පත් කර ගැනීමට නම් එම ධනය උපයාගත් වංචනික ක්‍රියාව හඳුනාගෙන එම වංචාව කළ තැනැත්තාට එරෙහිව අපරාධ නඩුවක් පවරා වරද ඔප්පු කළ යුතු ය. උපයාගත් මුදල වංචනික මුදලක් ලෙස සැලකෙන්නේ එවිට පමණකි.
එම ප්‍රශ්නයට විසඳුම් ලෙස ලෝකයේ අද වර්ධනය වන නීති තත්ත්වයක් වන්නේ වංචා කළ මුදල් සොයාගෙන ඒවා උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීම යි. උපයාගත් ආකාරය සාධාරණ ලෙස පෙන්නුම් කළ නොහැකි නම් එය වංචනික ලෙස උපයාගත් මුදලක් ලෙස සැලකිය හැකි ය.
විවිධ රටවල සඟවා ඇති මුදල් සොයා ගැනීම ද සංකීර්ණ කටයුත්තකි. ඒ සඳහා ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ට සම්බන්ධ ආයතන සහ වෙනත් ආයතන සතු සම්බන්ධතා සහ විශේෂඥ දැනුම ලබාගත යුතු ය.
සඟවා ඇති ධනය සෙවීමේ විශේෂඥ දැනුම ඇති ස්විට්සර්ලන්තයේ ආයතනයක් එම ක්ෂේත්රයේ ක්‍රියාත්මක ය.
එම ආයතනවල සේවය ලබාගැනීම සඳහා ද අප රටේ අලුත් නීති හඳුන්වා දිය යුතුව ඇත.
එලෙස නව නීති හඳුන්වා දීම සඳහා කෙටුම්පත් කරමින් සිටින නව පනත මෙම වසර තුළ දී ම පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත හැකිවනු ඇති බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි.
2023 අංක 9 දරන නව දුෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ” අපට සිහිනයක් තිබේ ” සාමුහිකය සංවිධනය කොට තිබු වැඩමුළුවකට සහභාගී වෙමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් , ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම තොරතුරු හෙළි කළේය.