ආර්ථිකයෙන් වැටුණු කාන්තාවෝ 40000ක් ගණිකා වෘත්තියට යොමු වෙයි

ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 22ක් අධික ණය බරින් මිරිකී සිටින බවත් බිඳ වැටුණු ආර්ථිකයට මුහුණදීමට කාන්තාවන් හතළිස් දහසක් පමණ ගණිකා වෘත්තිය තෝරාගෙන ඇති බවත් අන්තර්ජාල හරහා ලිංගිකත්වය අලෙවි කරන කාන්තා ගහනය ඉහළ යමින් තිබෙන බවත් ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය පැවැසුවාය.

පවුල් ඒකකය තුළ ආර්ථික බිඳ වැටීමෙන් දරුවන් ද මන්දපෝෂණයේ, මානසික ආතතියේ ගොදුරු බවට පත්වෙමින් සිටින බව කී සභාපතිනිය මේ වන විට දරුවන් 25269ක් මන්දපෝෂණයේ ගොදුරු බවට පත්වී හමාර යැයි ද කීවාය. වයසට සරිලන උස අඩු දරුවන් 133538දෙනකු ද වයසට සරිලන බර අඩු දරුවන් 215386 දෙනකු ද පෝෂණ ඌනතාවයෙන් පෙළෙන දරුවන් 16000දෙනකු ද හඳුනාගෙන සිටින බව කී ඇය උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිම පිරිස නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බව ද පැවැසුවාය.

වඩාත් අවදානම් දරුවන් 10323 දෙනකු හඳුනාගෙන සිටින බවත් මෙම තත්ත්වයට මුහුණපෑ දරුවන්ගෙන් 994දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද 930දෙනකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද 622දෙනකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද 619දෙනකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන සිටින බව ද ඇය පැවැසුවාය. ආර්ථික අවදානම ඉහළම දිස්ත්‍රික්කය පුත්තලම බවට හඳුනාගෙන ඇතැයි ද ඇය කීවාය.

වයස අවුරුදු 03-21 අතර පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් සියයට 54.9 කගේ අධ්‍යාපනය අඩාල වී තිබෙන බවත් දැඩි ආර්ථික දරිද්‍රතාවයට මුහුණපෑ දරුවන් සිඟමන් යදින තත්ත්වයට පත්වී සිටින බවත් හෂිනි සිල්වා මහත්මිය සඳහන් කළාය. වත්මන් ආර්ථික පීඩනය ශ්‍රී ලංකාවේ දරුවන් මිලියන 03 කට පමණ සෘජුව බලපා තිබෙන බවත් දරුවන්ගෙන් සියයට 20 ක් මානසික ආතතියෙන් පෙළෙන බවත් ඇය පැවැසුවාය.

මෙරට ගර්භණී මව්වරුන්ගෙන් සියයට 14.3ක් අඩු බර ඌන පෝෂිත තත්ත්වයට මුහුණදී සිටිති. යුනෙස්කෝ වාර්තාවට අනුව පවුල්වලින් සියයට 45ක් සිය මාසික ආදායමින් සියයට 75ක් ආහාර සඳහා වැය කරයි. පවුල් ඒකකයේ ආර්ථික දරිද්‍රතාවයෙන් පීඩනයට පත් කාන්තාවට පවුලේ බර කරට ගැනීමට සිදුවී තිබෙන කී සභාපතිනිය ඉන් පවුල මුදා ගැනීමට ඔවුන් ගණිකා වෘත්තියට පිවිසී සිටින බව ද කී ඇය 2024 වසරේදී මේ දක්වා කාන්තාවෝ 122358දෙනකු විදෙස්ගත රැකියා සොයා පිටව ගොස් සිටින බව ද පැවැසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *