ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම සමග එක්වීමට ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථකව තබයි

ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථකව තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරනවා.

සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිටයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින් RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

​ගෝලීය ජනගහනය මෙන්ම ආර්ථික නිපැයුම් අතින් ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගීත්වයෙනුයි පිහිටුවා ඇත්තේ.

මෙයට බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියාන් (ASEAN) කලාපීය සාමාජික රටවල් 10 මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන සෙසු ප්‍රධාන ආර්ථික බලවතුන් ද ඇතුළත්.

ශ්‍රී ලංකාව මෙම කලාපීය හවුල්කරුවන් සමග ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත්ව තර කරගැනීමේ අරමුණින් RCEP සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති අතර, විදේශ අමාත්‍යවරයා කැන්බරා සිට දැක්වූ අදහස් අනුව මෙම සංචාරය ඒ සඳහා ශක්තිමත් පදනමක් දමා තිබෙනවා.

​මෙම නිල සංචාරයේ දී එළඹි තවත් සුවිශේෂී එකඟතාවක් වනුයේ, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් සබඳතා තවදුරටත් වර්ධනය කිරීමයි.

ඒ අනුව, එළඹෙන අගෝස්තු මාසයේ සිට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව ද බලාපොරොත්තු වන බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *