වාහන සහ රියැදුරු බලපත්‍ර කටයුතු තව ටික දිනකින් ගෙදර සිටම කරගන්න පුළුවන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තිරසර කාර්යභාරය පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සමග පවත්වන ලද සාකච්ඡාවකි.

ප්‍රශ්නය— මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්ප්‍රදායක රාමුවෙන් ඉවතට ගෙන නූතන ලෝකයට ගැළපෙන ආයතනයක් බවට පත්කිරීම සඳහා ඔබගේ දැක්ම කොයි වගේද….?

පිළිතුර –– මම මේ ආයතනයේ ප්‍රධානියා ලෙස වැඩ භාරගත්තේ 2022 වසරේ අගෝස්තු මාසයේදී. ඒ වෙනකොට රට ආර්ථික අර්බුදයකට ලක්වෙලා ප්‍රශ්න රැසක් තිබුණා අපට දෙපාර්තමේන්තුවක් හැටියට විශේෂයෙන්ම රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළව. ඒ වන විට රියැදුරු බලපත්‍රය මුද්‍රණය කරන කාඩ් ආනයනය කිරීම අපහසුතාවට පත්වෙලා තිබුණා, ඒ වෙනුවට රියැදුරු බලපත්‍රය වෙනුවට ලබාදුන්නේ කඩදාසියක්. ඒ වගේ කඩදාසි ලක්ෂ 6 ක් පමණ අපි නිකුත් කරල තිබුණා කාඩ් එක වෙනුවට. කාර්ඩ් එකක් දෙන්න පුළුවන් කම තිබුණේ රට රැකියාවකට යන අයකුට වගේ විශේෂ අවශ්‍යතා ඇති අයට පමණයි. එහෙම ආයතනයක් තමයි මම 2022 දී භාරගත්තේ.

මාව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හැටියට පත්කරන විට විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා බලාපොරොත්තු වුණෙත් මේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය නැති කිරීම සහ එතුමාගේ ලොකුම අරමුණ වී තිබුණේ ආර්. එම්. වී., එහෙමත් නැතිනම්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු හැකි ඉක්මණින් ඩිජිටල්කරණය කිරීමයි. ඒ සඳහා අපගේ කටයුතු ඍජුව අධීක්ෂණය කරන රාජ්‍ය අමාත්‍යතුමා ලසන්ත අලගියවන්න මැතිතුමා එතුමාගේ උපදෙස් දීම හා මඟපෙන්වීම යටතේ මේ කාර්යය තමා අපි ප්‍රධාන වශයෙන් ඉටුකරගෙන යන්නේ.

එහිදී රියැදුරු බලපත්‍රය මුද්‍රණය සඳහා භාවිතයට ගන්නා ප්ලාස්ටික් කාඩ් ආනයනය කිරීම සහ කාඩ් මුද්‍රණය කරන මුද්‍රණ යන්ත්‍ර මේ වන විට උපරිම මුද්‍රණ ධාරිතා කාලය පසුකර, නැවත නඩත්තු කරගත නොහැකි තත්ත්වයක තමයි එම යන්ත්‍ර පැවතුණේ. එනම්, මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීම කියන කාරණයත් අපට බරපතළ ගැටලුවක් ලෙස තිබුණා. එක මුද්‍රණ යාන්ත්‍රණයක් මිලදී ගන්න රුපියල් මිලියන 20-25 ක මුදලක් වැයවෙනවා. එහිදී අපට කරන්න සිදු වුණේ යන්ත්‍ර මිලදී නොගෙන, යන්ත්‍ර ගෙන්විය හැකි ආයතනයක් හා සම්බන්ධවී මුදලක් ගෙවා පිටතින් රියැදුරු බලපත්‍ර කාඩ් මුද්‍රණය කරවා ගැනීමයි. මේ වනවිට ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයක රියැදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය සඳහා ගොඩගැසී තිබුණා. ඊට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ මුද්‍රණ යාන්ත්‍රණ 3 ක් මගින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කර කාර්ඩ්වලට ගෙවන ක්‍රමයකට මේ අර්බුදයට විසඳුමක් ලෙස ක්‍රමයක් ආරම්භ කළා. කියන්න සතුටුයි මේ වන විට අපි ගොඩගැසී තිබුණු ප්‍රමාණයෙන් ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මුද්‍රණය කරල අවසානයි. මගේ ඉලක්කය එන සැප්තැම්බර් වන විට ගොඩ ගැසුණු රියැදුරු බලපත්‍ර ප්‍රමාණය මුද්‍රණය කරලා අවසන් කිරීමයි.

අනිත් බරපතළ ප්‍රශ්නය තිබුණේ වාහන ලියාපදිංචි කරන පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම පිළිබඳව තිබුණු ගැටලුව. එනම්, e motoring (ඊ මෝටරින්ග්) කියන ක්‍රමවේදයකට 2018 සිට අනුමැතිය ලැබිල තිබුණත්, ඒක දිගින් දිගටම බාධාවෙමින් නැවතිලා තිබුණේ. මම ඒ පිළිබඳව මූලික වැඩකටයුතු කරලා, මේ වන විට සියල්ල සම්පූර්ණ කරගෙන පටන් ගන්න අවශ්‍ය තැනට ඒ කටයුත්ත කරගෙන ඇවිත් තියනවා. මේ අවුරුද්දේ නොවැම්බර් වන විට ඒ කටයුත්ත මූලික අදියර පටන්ගන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට තියන වාහන ලියාපදිංචි පද්ධතිය 1996 වගේ ඇතිකරපු පද්ධතියක්. එම පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යානොහැකි තත්ත්වයට පත්වුණු එකක්. මේ නිසා අපේ දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනාත් වැඩියි. මොකද විවිධාකාරයේ දූෂණ, වංචාකරන බවට. ඒ නිසා සකස් කරපු අලුත් ක්‍රමවේදයක් අනුව තමයි ඉදිරියේදී කටයුතු සිදුකෙරෙන්නේ. එහිදී මිනිස් මැදිහත්වීම (සේවක) සම්පූර්ණයෙන්ම පාහේ අවම කරලා තියනවා. සිදුකෙරෙන්නේ ඔන්ලයින් තක්ෂණය අනුව. මේ පද්ධතියට ඇතුළුවන්න ඉල්ලුම්කරුවකුට සම්බන්ධවෙන්න වෙන්නේ එකවතාවක් පමණයි. ඊට පස්සේ සිදුකෙරෙන සියලු වාහන හුවමාරු, ගනුදෙනු අපගේ ආයතනයට එන්නේ නැතිව තමන්ට කරගෙන යෑමේ ක්‍රමවේදයක් මෙහිදී සකස් කෙරෙනවා. වාහනයක් අලුතෙන්ම ගෙනල්ල ලියාපදිංචි කරනකොට ඒ වාහනය නිෂ්පාදිත රටේ වාහන අංගනයේ සිටම ලියාපදිංචි වන ක්‍රමවේදයක් තියෙන්නේ මේ ක්‍රමයේදී. ඒ නිසා මේ පද්ධතිය තුළ වාහන ගැනුම්කරුවා තමන් වෙනුවෙන් එකවුන්ට් එකක් හදාගත යුතු වෙනවා. මේ එකවුන්ට් එක හරහා තොරතුරු, ලේඛණ හුවමාරුව සිදුවෙනවා. තමන්ට අනන්‍ය වූ යුසර් නේම් එකක්, පාස්වර්ඩ් එකක් එක්ක තමයි ගනුදෙනු කරන්න වෙන්නේ.

අමතරව මෙම පද්ධතියට අපි සම්බන්ධ කරනවා වාහනයක ක්‍රියාකාරීත්වයට අදාළ රක්ෂණ සමාගම්, වාහන ගෙන්වන ආයතන, වාහන ගැරේජ් යනාදිය. අපි කරන්නේ නියාමන කාර්යක් විතරයි.

ප්‍රශ්නය – – දැනට ලියාපදිංචි ඇති වාහන සහ පැරණි වාහන මේ පද්ධතියට ඇතුළත් කෙරෙනවද…?

පිළිතුර — දැනට අප දෙපාර්තමේතුවේ පද්ධතිය තුළ වාහන ලක්ෂ 83 කට අධික ඇණියක් ලියාපදිංචි වී තිබෙනවා. මේ ලක්ෂ 83 තුළ වැඩියෙන්ම තිබෙන්නේ යතුරු පැදි. එනම් ලක්ෂ 44 ක් පමණ. තවත් ලක්ෂ 13 ක් විතර ත්‍රිරෝද රථ තියනවා. ඒවගේම මේ වාහන ඇණියේ සියයට 50 ක්ම තියෙන්නේ නිෂ්පාදිත කාලය වසර 20-30 ක් පමණ වූ ඒවා. මේ අතර අක්‍රීය තත්ත්වයේ පවතින වාහන ඉවත්කරන ක්‍රමවේදයක් අපේ නීතිය ඇතුලේ තිබුණට, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා නෑ මෙතෙක් කලක්. හේතුව අපි වාහන ලියාපදිංචි කළාට වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන්නේ පළාත් සභාවලට. නමුත් පළාත් සභාවෙන් ආදායම් බලපත්‍ර නිකුත් කළත් ක්‍රමවේදයක් නැහැ ඒ තොරතුරු අපට ලබාගන්න. මේ අඩුව මම අපේ අලුත් ක්‍රමවේදය ඊ මෝටරින් ක්‍රමවේදය ඇතුලේ හදල තියනවා, අමත්‍යතුමන්ලාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව, යම් වාහනයක් අවුරුදු 5 ක් ලියාපදිංචි කර නැත්නම්, එහි ගැටලුව වාහනයේ හිමිකරු අපත් සමග කතාකරල පද්ධතියෙන් ඉවත්කර ගැනීම නොහොත් ලියාපදිංචිය අහෝසි කරගැනීම කරගත යුතුයි නීතිය අනුව.

ප්‍රශ්නය – වාහන දුම් පරීක්ෂණ කටයුතුත් ඔබ ආයතනයේ කාර්යය භාරයක් නේද…?

පිළිතුර – ඔව්, සැබවින්ම. මේ කටයුත්ත පරිසරය හා සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රඥප්ති, රේගියුලේෂන් අනුව සිදුකෙරුණු නීතියක් හැටියට තමයි පැමිණෙන්නේ. ඕනෑම රටක පරිසරයට සිදුකෙරෙන බලපෑම්වලින් වැඩිම බලපෑම සිදුකෙරෙන්නේ වාහනවලින්. පොසිල ඉන්ධන භාවිත කරන වාහනවල දුම්වලින් පරිසරයට සිදුකරන හානිය තමයි මේ විදිහට සිදුවන්නේ. එනිසා රජය ගත් තීරණයක් අනුව, දුම් පරීක්ෂාව සඳහා ආයතන දෙකක් හරහා 2008 සිට දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම සහ අනතුරුව ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා වසරක් පාසා ක්‍රියාත්මක වෙනවා. වසරක් පාසා මෙසේ දුම් පරීක්ෂණය සිදුකළ යුතු වෙනවා. විශේෂයෙන්ම දකුණු ආසියාවේ අනිකුත් රටවල් හා බැලීමේදී ශ්‍රී ලංකාව වායු දූෂණය නොමැති රටක් ලෙස හොඳ තැනක ඉන්නවා. ඇත්තටම ගත්තොත් ආසියාවේ සියලුම රටවල්වලින් තමන්ගේ මුළු වාහන ඇණියම වසරක් පාසා චෙක් කරන එකම රට ශ්‍රී ලංකාව. මේ ක්‍රමය සියයට සියයක් සාර්ථක නොවුණත්, සැලකිය යුතු මට්ටමක දායකත්වයක් අපේ රටේ පරිසරයට මේ මගින් ලැබෙනවා. ප්‍රායෝගිකව අපට මේ සඳහා ඇති ප්‍රධාන බාධකය තමයි අපේ වාහන ඇණියේ ඇති පැරණි බව. අපි හරියාකාරව මේ කටයුත්ත කරන්න ගියොත් අපට විශාල වාහන ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් කරන්න සිද්ධවෙනවා. නමුත්, රටේ ඇතිවී තිබෙන ආර්ථික ප්‍රශ්නය නිසා වාහන ආනයනය මේ වනවිට නවතා තිබෙනවා. අලුත් වාහන රටට එන්නේ නෑ. ඒ තත්ත්වය උඩ පවතින ක්‍රමවේදය පවත්වාගෙන යනවා. නමුත් අපි ඉදිරියේදී අමාත්‍යතුමා යෝජනා කර සකස්කරගෙන යනවා 2027 වෙනකොට ක්‍රියාත්මක කිරීමේ අරමුණින් වාහනයක් නඩත්තු කිරීමේදී පරිසරයට සිදුවන හානිය අවම වන ක්‍රමවේදයක්. මොකද ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව 2035 වෙනකොට අපි “සීරෝ එමිෂන්” කියන තත්ත්වයට රට ගෙනයා යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම ඉලෙක්ටි්‍රක් වාහන, හයිබි්‍රඩ් වාහන වැඩි සැලකිල්ලක්, වැඩි අවධානය යොමුකිරීමක් මේ වන විට ඇතිවී තිබෙනවා. ඉදිරියේදී මේ අනුව පොසිල ඉන්ධනවලින් ධාවනය වන වාහන අවම වෙලා, විද්‍යුත් වාහන මාර්ගයට එකතුවෙන්න තියන අවස්ථාව බොහෝ වැඩිවෙන්න පුළුවන්. ඒ මගින් පරිසරයට විශාල දායකත්වයක් ලබාදෙන්න ඒ මගින් අපට හැකිවේවි.

අමතරව අපි වායු විමෝචන භාරකාර අරමුදල පිහිටුවලා තියනවා වායුව නිසා පරිසරයට සිදුවන හානිය අවම කරලා පරිසරයට දායකත්වයක් ලබාදෙන්න. ඒ මගින් අපි මාර්ග දෙපස පැළ සිටුවීම, මාර්ගයේ ගමන් ගන්නා වාහන අහඹු ලෙස පරීක්ෂා කිරීම, තව මම වට්ස්ඇප් නම්බරයක් හඳුන්වාදී තිබෙනවා ජනතාවට 070 3500 525 කියල, පාරේ අධික ලෙස දුම් පිටවන වාහනයක් ගමන් ගන්නවානම්, හැකි ඉකමණින් අපට දැනුම් දෙන්න කියල. මොකද පරිසරය රැකීම අප සියලුම දෙනාගේ වගකීමක්. තනිව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පමණක් මේදේ කරන්න අමාරුයි. ඒ සඳහා අපි දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය — පවතින රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය ගැන සෑහීමකට පත්විය හැකිද…?

පිළිතුර — එම පද්ධතියත් නඩත්තු කරන්න බැරි තත්ත්වයට පැරණි තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. මේ නිසා අපි අලුත් රියැදුරු බලපත්‍රයක් නිකුත් කරන්න කටයුතු කරගෙන යනවා. මෙයත් බොහෝ දුරට ඩිජිටල් රියැදුරු බලපත්‍රයක් වේවි. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 80-90 ක් අතේම තමන්ට කියල ස්මාර්ට් දුරකථනයක් තියනවා. මේ දුරකථනය සමග ක්‍රියාත්මක ඩිජිටල් රියැදුරු බලපත්‍රයක් තමයි අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති අයට රියැදුරු බලපත්‍රයේ හාඩ් කොපි එක ගන්න පුළුවන්. ඉදිරියේදී සමස්ථ රටම ආවරණය වන පරිදි, එනම් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ඔන්ලයින් ස්වයංක්‍රීය පද්ධතියකින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියැදුරු බලපත්‍රය ලබාගැනීමට එකතු කරන්නයි අපගේ වෑයම. 2026 වන විට අපි මෙය ක්‍රියාත්මක කරනවා. දැනට ඔන්ලයින් ක්‍රියාත්මක වන්නේ දිස්ත්‍රික්ක 8 යි. අනිකුත් දිස්ත්‍රික්ක 16 ම පැරණි ක්‍රමවේදයට එහෙමත් නැත්නම් මැනුවල් ක්‍රමයට තාම කටයුතු කරන්නේ. එසේම බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත විභාගය තාමත් වේරහැර විතරයි ඔන්ලයින් කර තිබෙන්නේ. මෙම ලිඛිත විභාගය පැවැත්වීමත් ඔන්ලයින් ක්‍රමයට දිස්ත්‍රික්ක 24 ම ක්‍රියාත්මක කිරීම අපි ආරම්භ කරනවා. මීට සම්බන්ධවන රියැදුරු පාසල්, ට්‍රයල් බැලීම යනාදී මේ සියලුම කාර්යයන් ඔන්ලයින් කරන්න මේ ක්‍රමවේදය තුළ කටයුතු කරනවා. රියැදුරු පාසල් මේ තුළ නියාමනය වෙනවා.

වගේම රියැදුරු බලපත්‍රය අලුත් කිරීම කියන කාර්යයේදී අපි දන්නවා බර වාහන බලපත්‍ර වසර 4 කට වරක් සහ සැහැල්ලු වාහන වසර 6 කට වරක් අලුත් කිරීමක් සිදුකෙරෙනවා. මෙහිදී කල් ඉකුත්වන රියැදුරු බලපත්‍රය අලුත් කරන්න නැවත වරක් අයැදුම්කරු අපගේ දෙපාර්තමේන්තුවට නොපැමිණ නව වෛද්‍ය වාර්තාව සහ ඔහුගේ ඉල්ලීම සමග ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපට යොමුකර, අලුත් බලපත්‍රය නිවසේ සිටම ලබාගන්න ක්‍රමවේදයකට අපි ඉක්මණින් යන්න හදන්නේ. ඒ කියන්නේ පුද්ගලයා නැවත, නැවත පැමිණීම අවශ්‍ය වන්නේ නෑ.

ප්‍රශ්නය — ඩිජිටල් තාක්ෂණය සමග ගැවසෙන දැයේ තරුණ පරපුරට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා හැටියට දිය හැකි පණිවිඩයක් තිබෙනවාද…?

පිළිතුර – – තරුණ පිරිස් ඇතුළුව මේ වන විට අපේ රටේ විදෙස්ගත වන පිරිස වැඩියි. වසරකට විශාල පිරිසක් විදෙස්ගත වෙනවා. මේ අය ගොඩක් දෙනෙක් නොදන්න කාරණයක් තියනවා. එනම්, විදෙස්ගත වන අයට විදෙස් ගමන් බලපත්‍රයට පසුව මීළඟට තිබෙන වටිනාම ලියැවිල්ල තමයි රියැදුරු බලපත්‍රය කියන එක. යම් රටකට ගිහින් රියැදුරු බලපත්‍රයක් අලුතෙන් ගන්න ගියහම ඒ පුද්ගලයා ලොකු අපහසුතාවකට පත්වෙනවා තමන්ගේ රටේ තමන්ට රියැදුරු බලපත්‍රයක් නැතිනම්. එවිට ඒකට විශාල වියදමක්, කාලයක් කැපකරන්න වෙනවා, අලුත් එකක් ගන්න. බලපත්‍රයක් තිබුණන නම්, ක්‍රමවේදය පහසුයි. ඒ නිසා රියැදුරු බලපත්‍රයක් තිබීම අතිශය වැදගත් ලියැවිල්ලක්.

විශේෂයෙන්ම “ස්ටුඩන්ට් වීසා” යන තරුණ-තරුණියන් නිසා අපි විශාල අපහසුතාවකට පත්වෙනවා, මන්ද රටවලට යන දරුවන් තමන්ගේ වීසා අරගෙන, ටිකට් එකත් අරගෙන තමයි එන්නෙ රියැදුරු බලපත්‍රය ගන්න. අපේ ලිඛිත පරීක්ෂණය ලියල, ටිකට්, වීසා අරගෙන ඇවිත් කරදර කරනවා මට ඉක්මණට ට්‍රයල් එක දෙන්න කියලා. නමුත්, එහෙම දෙන්න ක්‍රමවේදයක් නැති බව කරුණාවෙන් සලකන්න. ලංකාවේ නීතිය අනුව ආධුනික රියැදුරෙක් විභාගය සමත් වුණු දවසේ සිට අනිවාර්යය මාස තුනක් පුහුණු වෙන්න ඕන ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටින්න. එනම්, ට්‍රයල් එක කරන්න මාස තුනකට කළින් විභාගය සමත් වෙලා ඉන්න ඕන. ඒ නිසා අපි පළමුව දැනගන්න ඕන අපේ රටේ පළමු වතාවට රියැදුරු බලපත්‍රයක් ගන්න නීතිය සහ වයස දැනගෙන සිටිය යුතුයි. රටේ බහුතරය මේ ගැන දන්නේ නෑ. ඇත්තටම අපේ රටේ වයස අවුරුදු 17 සම්පූර්ණ කළ ඕනෑම දරුවකුට මෙඩිකල් එකක් අරන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රක් කාර්යාලයකට ගිහින් විභාගය ලියල, ලර්නස් පර්මිට් එකක් (රියැදුරු පුහුණු බලපත්‍රයක්) ගන්න පුළුවන්. අනතුරුව පුහුණු වෙන්න පුළුවන්. නමුත් රියැදුරු බලපත්‍රය දෙන්නේ වයස අවුරුදු 18 න් පස්සෙ. ඒ නිසා මම මේ රටේ තරුණ තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලනවා රට යන්න බලාපොරොත්තුවක් තියනවානම්, ගමන් බලපත්‍රයට වගේම, රියැදුරු බලපත්‍රයටත් අවධානය යොමුකරන්න. මොකද හේතුව අන්තිමට ගන්න ආවොත් ගන්න හැකියාවක් නෑ. ලංකාව වගේ ප්‍රවාහන පද්ධතියක් නෙමේ දියුණු රටවල තියෙන්නේ. ඉගෙන ගන්න යන අයට වගේම පාර්ට් ටයිම් කරන අයට රියැදුරු බලපත්‍රය පෙන්වන්න වෙනවා. නැත්නම් ජොබ් කරන්න බැහැ. ඒ නිසා කළින් බලපත්‍රය අපෙන් ඉල්ලන්න. එතකොට අපි දෙන්න සූදානම්.

ඒ වගේම අපේ සේවය ගන්න එන අය කාටවත් අල්ලස් දෙන්න ඕන නැහැ. තැරැව්කරුවන්ට අහුවෙන්න එපා. අපේ කාර්යාල ඇතුලේ විමසීම් කවුළු තියනවා. එතනින් නොදන්නා දේ අහගන්න. තමන්ට යම් ගැටලුවක් තියනව නම් අදාළ අංශ ප්‍රධානීන් හමුවන්න අවස්ථාව තියනවා. එතැනින් බැරි වුණොත් මාව හමුවෙන්න අවස්ථාව දීල තියනවා. ඒ ක්‍රමවේදයට වැඩේ කරගන්න. අනික අපේ සේවය ගන්න එන අය කවුරුවත් ආපහු හරවා යවන්නේ නැහැ. ඒකට කාටවත් බලයක් නැහැ. ඒ බලය තියෙන්නේ කොමසාරිස්වරයා විදිහට මට විතරයි. ඒ බව මම මගේ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ. මම එය අධීක්ෂණය කරනවා. මගේ දැක්ම ජනතාව සමග සුහදව කටයතු කිරීම සහ ඵලදායී සේවාවක් කියන එකයි. ඒ නිසාම එන හැමෝටම කලින් කතාකරලා වෙලාවක් වෙන්කර ගන්න අපි නම්බරයක් දීල තියනවා. ඒ නම්බරය තමයි 011-2 117 116.

සාකච්ඡා කළේ – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – චසිත බුලත්සිංහල

15 thoughts on “වාහන සහ රියැදුරු බලපත්‍ර කටයුතු තව ටික දිනකින් ගෙදර සිටම කරගන්න පුළුවන්

  1. Sir mage license eka nathi wela masa ekahamarak vithara wenawa ikmanata hadaganna vidihak kiyanna puluwanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *