ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් වෙයි – මැයි අවසානය වන විට අයවැය අතිරික්තය බිලියන 197.3ක් දක්වා ඉහළට

මෙර B රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 වසරේ මැයි මාසය අවසානය වන විට රජයේ අයවැය අතිරික්තය රුපියල් බිලියන 197.3ක් දක්වා ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසය අවසානයේදී මෙම අගය පැවතියේ රුපියල් බිලියන 105.0ක් ලෙසිනි.

එමෙන්ම, මෙරට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,131.2ක් ලෙස වාර්තා වීම විශේෂත්වයකි. පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන සහනාධාර ඇතුළු අත්‍යවශ්‍ය වියදම් සඳහා අමතර මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුව තිබියදීත්, මෙම මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට රජය සමත්ව තිබේ.

ආදායම් වර්ධනය සහ වියදම් පාලනය පසුගිය වසරේ පළමු මාස පහ හා සැසඳීමේදී, මෙරට බදු ආදායම 28.3%කින් වර්ධනය වී ඇති අතර, බදු නොවන ආදායම් සහ ප්‍රදාන ද ඇතුළත් සමස්ත රජයේ ලැබීම් 30.6%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත. මෙවැනි ආදායම් වර්ධනයක් තිබියදී, රජයේ සමස්ත වියදම් වර්ධනය 7.4%ක සීමාවක පවත්වා ගැනීමට හැකිවීම අයවැය අතිරික්තය මෙලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.

විදේශ ණය කළමනාකරණයේ අභියෝග අයවැය අතිරික්තයක් පවතින බැවින් දේශීය ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති වුවද, විදේශ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අභියෝගාත්මක තත්ත්වයකි. රුපියල් වලින් ලබා ගන්නා දේශීය ආදායම කෙලින්ම විදේශ ණය ගෙවීමට යොදා ගත නොහැකි බැවින්, ඒ සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් හෝ අතිරික්තයක් රට තුළ තිබීම අත්‍යවශ්‍ය වේ.

කෙසේ වෙතත්, 2022 වසරේ ණය පැහැර හැරීමෙන් පසු ජාත්‍යන්තර වාණිජ වෙළඳපොළෙන් අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාව තවමත් සීමා වී ඇත. මේ හේතුවෙන්, දැනට විදේශ ණය ආපසු ගෙවීම් සඳහා ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවලින් ලැබෙන ණය වාරික මත යැපීමට සිදුව තිබේ.

දිගුකාලීන විසඳුම් සහ ඉදිරි දැක්ම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම හරහා ඩොලර් ගැටළුව දිගුකාලීනව විසඳා ගත හැකි වුවත්, පවතින විදේශ ණය කන්දරාව අනුව මේ සඳහා වසර ගණනාවක් ගත වනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ණය තිරසාරත්වය තහවුරු කර තිබීම යහපත් වුවත්, ඉදිරියේදී යම් අනපේක්ෂිත ආර්ථික කම්පනයක් ඇති වුවහොත් ජංගම ගිණුම් අතිරික්තය පවත්වා ගැනීම අසීරු විය හැකිය.

එවැනි තත්ත්වයක් තුළ අඩුව පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත මට්ටමක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවන අවස්ථාවකදී, කෙටිකාලීන ආරක්ෂක පියවරක් ලෙස යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට එළඹීම විකල්පයක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *