අල්ලස් කොමිසම ගමට යමින් අලුතින් කාර්යාල 23ක් පිහිටුවීමට තීරණය කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු වඩාත් විධිමත් කරමින් දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 23ක් අලුතින් විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මෙම සියලුම ප්‍රාදේශීය කාර්යාල එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර විවෘත කර අවසන් කරන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේය. මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සහ සාක්ෂි ලබාදීමට රටේ විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාවට කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයටම පැමිණීමට සිදුවීම හේතුවෙන් මෙම ශාඛා කාර්යාල ආරම්භ කරන බවද හෙතෙම පැවැසීය. ප්‍රාදේශීය මට්ටමින් පැමිණිලි භාර ගැනීම, විමර්ශන සිදුකිරීම සහ නඩු පැවරීම ඇතුළු කාර්යයන් රැසක් මෙම කාර්යාල හරහා ඉටු කිරීමට නියමිත බවත් මේ සඳහා නීති නිලධාරීන් සහ නිවාරණ නිලධාරීන් ඇතුළුව සමස්ත නිලධාරීන් 971 දෙනකුගෙන් යුත් පිරිසක් සේවය සඳහා අනුයුක්ත කිරීමටද කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *