ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජනපති අනුරට භාර දෙයි

ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දෙන ලදි.

2026 – 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අය – වැය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි.

ශක්තිමත් පාලන සහ අධීක්ෂණ රාමුවක සහාය සහිතව මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින්, දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමටත්, රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීමටත් රජය අපේක්ෂා කරයි.

මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පෙරගමන්කරු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.

එම අවස්ථාව සඳහා කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *